මරා දැමීම සඳහා සතුරන් දරන ලද උත්සාහයන් හයසියයකට වැඩි ප්‍රමාණයක් පරාජය කළ ෆිදෙල් කස්ත්‍රෝ ස්වභාවික ලෙස ජීවිතයෙන් සමුගත්තේ අද වැනි දිනකය. ෆිදෙල් පිළිබඳ මතකය සිහියට ගනිමින් අද මේ තීරුව ආරම්භ වන්නේය.
කියුබාවේ වර්තමාන ස්වරූපය තුළ ජන ජීවිතය සඳහා ගැහැට එමට ඇත්තේ වුවද කියුබානු විප්ලවය වූ කලී ලෝකය වෙනස් කළ එක් ලක්ෂ්‍යයකි. 1946 වසරේ, ජනාධිපති රාමෝන් ග්‍රව්ගේ පාලනය විවේචනය කළ කස්ත්‍රෝ, කියුබානු රජයට දේශපාලන අභියෝගයක් විය. ග්‍රව්ගේ පාලනයට එරෙහිව පාරට බසින ලද ජනතාව සඳහා සරසවි ශිෂ්‍යයෙක් ලෙස, නායකත්වය ලබාදුන් කස්ත්‍රෝ, ග්‍රව්ගේ මැරයන්ගේ තර්ජනයට ලක්විය. තර්ජනය සඳහා ප්‍රතිචාරය ලෙස, අවි ගත් ෆිදෙල්, යළි ඒවා බිම තබන ලද්දේ, කියුබානු විප්ලවයෙන් පසුවය. වයෝවෘද්ධභාවය හේතුවෙන් 2006 වසරේදී සිය සොහොයුරා වෙත රාජ්‍ය නායකත්වය භාරදුන් කස්ත්‍රෝ ඉන් පසු විවේකී ජීවිතයකට හුරුවිය. 2016 නොවැම්බරයේ 25 වැනිදා රාත්‍රියේ, ඔහුට පමණක් නොව ලෝකයටම විප්ලවයේ ආස්වාදය අකුරු කළ, හවානා අහස යටදී හේ අවසන් හුස්ම හෙළුවේය.
කස්ත්‍රෝ වනාහි සමස්තයක් ලෙස දේශපාලන විද්‍යා පාඩමකි. හෙතෙම එක්සත් ජනපද, පාද මූලයේ සිට, එයට අභියෝග කළ මිනිසාය. ලෝකය ධනවාදයේ තනි යායෙන් මුදාගැනීම සඳහා සැක බිය නොමැතිව සටන් කළ අයෙකි. ඔහු ගොඩනැඟු මාවතේ, ලතින් අෙමරිකානු කලාපය පමණක් නොව ලෝකයේ බොහෝ විප්ලවවාදීන් සක්මන් කළේය. කස්ත්‍රෝ සපුරාම රතෙන් සරසා, ඔහුගේ සියලු ප්‍රයත්නයන් සාර්ථකත්වයෙන් හැඩ කිරීමට මේ තීරුව නොවෙහෙසෙන්නේය. ඔහු කියවා ගත යුතුම පාඩමක් මිස, සියල්ල සාර්ථක යැයි අදහා ගත යුතු චරිතයක් නොවේ.
“අඩු සාක්ෂරතාවය යනු ශාපයකි. අධ්‍යාපනය එය විසඳාගැනීමේ පළමු පියවර වන්නේය. අධ්‍යාපන විප්ලවයක් නොමැති නම් සියලු විප්ලව අසාර්ථකවේ.” යනුවෙන් කස්ත්‍රෝ සිදු කළ ප්‍රකාශය පෙරට ගෙන අද මේ තීරුව කතිකාව ගොඩනඟන්නේය.
උසස් පෙළ විභාගය නම් ලාංකේය තාරුණ්‍යයේ කඩඉම අද ආරම්භ වන්නේය. ඒ සඳහා මුහුණ දෙන සියලු සිසුන් හට සුබ පැතීම වනාහි, පලදායි ප්‍රාර්ථනයක් නොවන්නේය. දෙලක්ෂ හැත්තෑ දහසකට ආසන්න සිසු ප්‍රමාණයක් උසස් පෙළට පෙනී සිටින්නේ නමුදු, විශ්වවිද්‍යාල සඳහා බඳවා ගනු ලබන්නේ ඉන් හතළිස් පන්දාහකට ආසන්න ප්‍රමාණයකි. සමත් වුවද සරසවි වරම් නොමැති පිරිසක් බවට බොහෝ දෙනා පත්වන්නා හෙයින්, සියලු දෙනා හට සුබ පැතීම සඳහා මේ රටේ අධ්‍යාපන අවකාශය තවමත් පොහොසත් මදිය. විකල්ප මාර්ග සොයා, ගේ දොර ඉඩකඩම් විකිණීමට මවුපියන් වෙත සිදුවන්නේ මේ හේතුවෙනි. එක් අතකින් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇත්තේය. විදේශගතව ඉගෙනීම තව මාර්ගයකි. මේ ආදී කාරණා හේතුවෙන් උසස් පෙළ වනාහි, සමත් වූ පමණ ඊළඟ අදියර සඳහා පියමං කළ හැකි යමක් නොවේ. මේ කරුමය පරම්පරා ගණනාවක් විඳවන්නේය. අහවර වීමක් කෙසේ වුවද ඒ සඳහා පිළිතුරක් සොයන පාටක්වත් නොමැත්තේ හෙයින් ලෝකයේ කිසිදු රටක නොමැති ආකාරයට මේ රටේ උපාධිය සඳහා වූ ප්‍රවේශ විභාගය, තරග විභාගයක් බවට පත්ව ඇත්තේය. එය ශිෂ්‍යයා මතට එල්ල කරන පීඩනය එකකි. ඔහුගේ අනාගතය සහමුලින්ම මේ හෙයින් වෙනස් වන්නේය. අනික් අතට ගෘහ ආර්ථිකය සඳහා දෙන වධයය.
දරුවන් දෙදෙනෙක් සිටින නිෙවසක වැඩිම වියදම යන්නේ අධ්‍යාපනය සඳහාය. පාසල නොව පන්තිය වෙතම දරුවන් යැවිය යුතු තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේය. ටියුෂන් ගාස්තු ගෙවූ පසු, මවුපිය ආදායමෙන් සොච්චමක් පමණක් ඉතිරි වන්නේ හෙයින් ගෙදරක අද ඇති ලොකුම වියදම ටියුෂන් බිලය.
වැඩේ හරියට කිරීමට නම්, වේයන්ගොඩ, වඳුරව නිධානයවත් ගෙයක් ගානේ පහළ විය යුතුය. අවසානයේ එය ද කළුගල් ලෝඩ් එකක් බවට පත්ව ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරිදි සතර මහා නිධාන වනුයේ ස්ථාවර, ජංගම, අංග සම, අනුගාමික යන සතරය. මෙයින් අංග සම නිධානය යනු අධ්‍යාපනයය. වෘත්තීමය ශක්‍යතාවක් සඳහා ලැබෙන පුහුණුව නොමැත්තේ නම්, එක් නිධානයක් ඒ මිනිසාට අහිමි වන්නේය. අද දිනයේ උසස් පෙළ සඳහා මුහුණ දෙන දූ පුතුන්, මේ නිධානය ගොඩගැනීම සඳහා වෙහෙස වෙන පිරිස් වෙත්.
අධ්‍යාපනයේ මේ අසමමිතිකභාවය පහසුවෙන් තුරන් කළ හැක්කේ නොවේ. පාසල් අධ්‍යාපනය හෝ විධිමත් තලයකට ගෙන ඒමට නොහැකිවූ දශක ගණනාවක් අප පසු කළේය. වර්ධනයක් නොමැත්තේ නොවේ. වර්ධනය සිදුව ඇත්තේ අවශ්‍ය ආකාරයට හෝ අවශ්‍ය වේගයෙන් නොවේ. සරසවි අධ්‍යාපනය සඳහා ඉදිවෙන සම අවස්ථාව, උසස් පෙළ උග්‍ර තරගය නිමා කරන්නේය. ඒ තුළ සාමාන්‍ය පෙළ නම් ගින්න ද නිවී යන්නේය. පොත අතේ තබා රිවට් ගසා ඇති දරු තෙමේ, අනාගත සමාජය සඳහා පාරට දැමිය නොහැකි රොබෝ යන්ත්‍රයක් වැන්න. ඒ සඳහා ද නිමාවක් ඔය දාමය අඛණ්ඩව ගලා යන්නේ නම් ලැබෙනවා ඇත.
උසස් පෙළ ආරම්භය අද සිද්ධ වන්නේ හෙයින්, යළිත් මේ කතා සියල්ල ගෙන හැර දක්වන ලද්දේමුත් වැඩේ බරට නොගන්නා තාක්, සෙක්කුව කරකැවෙන ආකාරයට මේ රටේ අධ්‍යාපනයට ගමන යා හැක්කේය. පරම්පරා ගණනාවක අඳෝනාව සහ සමාජයේ ඉදිරි ගමන දෙස බලන විට තව සිතීමට කාලයක් නොමැත්තේ හෙයින්, උසස් පෙළට පෙනී සිටි මේ දරුවාගේ සිට, වැඩේට පිවිසුම සඳහා ආරම්භයක් ගත හැකිය.
“අපගේ විප්ලවය වනාහි සෞඛ්‍යය හා අධ්‍යාපනයට බලගැන්වීම සඳහා දරන පරම උත්සාහයකි. එය අසාර්ථක වන්නේ නම්, විප්ලවයේ කිසිදු අරමුණක් සාක්ෂාත් නොවනවා ඇත.” යනුවෙන් කස්ත්‍රෝ පැවසූ පාඨය අවසානයට ගෙන මේ තීරුව අද නිමාව සටහන් කරන්නේය.