නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා රවි කරුණානායක මහතාගේ නම යෝජනා කර මැතිවරණ කොමිෂන් සභාව වෙත යවා ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දීමෙන් පසුව බව කෙරෙන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව එජාප සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් පසුගියදා (21) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ඒ මහතා, එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මහමැතිවරණයෙන් පසු එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟත්වයක් ඇති කරගෙන තිබූ බවට කෙරෙන ප්‍රකාශ ද පදනම් විරහිත බවයි. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සමඟ ඇති කරගෙන තිබූ එකඟත්වය අනුව පාර්ලිමේන්තු මැතිවරණය නිම වීමෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා අපේක්ෂකයකු නම් කිරීමට එම පෙරමුණට කිසිම අයිතියක් නැති බවද එවැනි තත්ත්වයක් යටතේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ක්‍රියා කර ඇත්තේ අවබෝධතා ගිවිසුමට හා එකඟත්වයට සම්පූර්ණයෙන් පරිබාහිරව බවත් වජිර අබේවර්ධන මහතා විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. එසේම එක්සත් ජාතික පාක්ෂිකයෙකු වන රවි කරුණානායක මහතා සම්බන්ධව විනයානුකූලව පියවර ගන්නා බවත් මේ සිද්ධිය පිළිබඳව සොයාබැලීමට පත් කර තිබෙන කමිටුවේ වාර්තාව ලැබුණු පසු එම නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන බවත් අබේවර්ධන මහතා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.