සන්ධාන නැතිව තනි දේශපාලන පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගය ලබාගත් ජයග්‍රහණය නව දේශපාලන පරිවර්තනයක් බවත් එය පක්ෂයේ පෞද්ගලික ජයග්‍රහණයක් නොව, ජනතාව ලැබූ ජයග්‍රහණයක් බවත් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේය. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයේ විශේෂත්ව ගණනාවක්ම තිබෙන බව ද ඒ අනුව ප්‍රධාන වශයෙන්ම මෙතුවක් කල් තට්ටු මාරු ක්‍රමයක් ලෙස රටේ පැවැතුණු කොළ කඳවුර සහ නිල් කඳවුර බිඳවැටුණු බවද සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ, පසුගියදා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.
මේක අපි ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක්. ලංකාවේ දේශපාලනයේ නව යුගයක් ආරම්භ වුණා. අවුරුදු 76ක් තිබුණු දේශපාලනය අවසන් කර, නව සමාජ පෙරළියක් සිදු වුණා. අවුරුදු 76ක් තට්ටු මාරු දේශපාලන ක්‍රමයක් තමයි පවත්වාගෙන ආවේ. දැන් අපි මහජන දේශපාලනයක් තමයි දකින්නේ. ජනතාවාදී දේශපාලනයක ආරම්භයක් වුණා. ඒක පසුගිය සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපති තේරී පත්වීමෙන් ආරම්භ වෙලා මහමැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක්ද සහිතව ජනතාවාදී දේශපාලනය ජයග්‍රහණය කළා. ඒ සම්බන්ධව අපි අවංකව සතුටු වෙනවා. මේ ජයග්‍රහණයේ විශේෂත්ව ගණනාවක්ම තිබෙනවා. මෙතුවක් කල් තිබුණු බලකඳවුරු ගණනාවක්ම බිම වැටී තිබෙනවා.
ඒ වගේම උතුරේ ගත්තත් ද්‍රවිඩ සන්ධානය සැලකිය යුතු පසුබෑමකට ලක් වුණා. වතුකරයේ ගත්තත් දිගම්බරම්ලගේ, තොණ්ඩමන්ලාගේ කඳවුරු බිඳවැටුණා. නැඟෙනහිර ගත්තත් හකීම්ලාගේ, අතාවුල්ලාගේ කඳවුරු බිඳවැටුණා. නව දේශපාලන පරිවර්තනයක් තමයි වුණේ. සන්ධාන නැතිව තනි දේශපාලන පක්ෂයක් ලෙස ජනතාව එකතු කර ගත් ජයග්‍රහණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේක පෞද්ගලිකව අපි ලැබූ ජයග්‍රහණයක් නෙමෙයි ජනතාව ලැබූ ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණයේ ගැඹුරු බොහෝ දේවල් තිබෙනවා. අර්ථයක් තිබෙනවා. පැරණි දේශපාලනය මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැහැ. දේශපාලනයේ නව පෙරළියක් සහ නව වෙනසක් ජනතාව බලාපොරොත්තු වෙනවා. ආර්ථිකයේ වුණත් නව ගමනක් බලාපොරොත්තු වෙනවා. සමාජය වුණත් නව ගමනක් බලාපොරොත්තු වෙනවා. ජාතික ජන බලවේගයේ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්රකාශනය යටතේ ඒ දේ අපි තහවුරු කර තිබෙනවා.
ඒ ප්‍රතිපත්තියට තමයි මේ රටේ ජනතාව අපට වරමක් දීලා තිබෙන්නේ. අපි ඒ ප්‍රතිපත්ති ඉදිරියට ක්‍රියාත්මක කරනවා. මානවවාදී සමාජ ක්‍රමයක්, සමාජ ආර්ථිකයක් සහ දේශපාලන ක්‍රමයක් මේ රටේ ස්ථාපිත කර නව ගමනක් අපි යන්න සූදානම්. මොකද අවුරුදු 76ක විශාල ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ දේවල් ක්‍රමානුකූලව විසඳන්න ඕනෑ. බෙදී, වෙන් වී මැතිවරණ කරපු කාලය දැන් ඉවරයි. ජනාධිපතිවරණයත් ඉවරයි. මහමැතිවරණයත් ඉවරයි. අපි ඔක්කොම එකතු වෙලා, සමගි වෙලා රට ගොඩනඟන කාලයයි දැන් එළඹිලා තිබෙන්නේ. අපි තනතුරු, තානාන්තර බලාගෙන ආපු ගමනක් නෙමෙයි. අපේ දේශපාලන ඉතිහාසයෙන් ඒ බව දැනගන්න පුළුවන්. මගේ ජීවිතයේ පරාජයට පත් වීම් තමයි වැඩි අවස්ථා ගණනාවක්ම තිබුණේ. ඒ දේවලුත් අපි පරාජය ලෙස භාර ගත්තේ නැහැ. ඒ දේවල් හමුවේත් අපි අපේ කාර්යභාරය රට වෙනුවෙන් කළා. හෙට දවසේ පක්ෂය පවරන්නේ මොකද්ද ඒ වගකීම ඉටු කරන්න අපි සූදානම්.
අපේ එකම බලාපොරොත්තුව මේ රට ගොඩනැඟීමයි. ඒ සඳහා අපි කැප වෙනවා. 2022 වසරේදී මේ සටන් පාඨය අපි පටන් ගත්තේ මහජන අරගලයකිනුයි. ඒකෙදි ජනතාව ගෙනාපු එක සටන් පාඨයක් තමයි පාර්ලිමේන්තු එපා කියලා. 225 ම එපා කියලා තමයි අර්ථ ගැන්නුවේ. ජනතාව ඒකෙන් සැලකිය යුතු කොටසක් සුද්ද පවිත්‍ර කර දුන්නා. ගාලු මුවදොර ඇරඹුණු අරගලයේ ඉනිම තමයි දැන් ජයග්‍රහණය කරන්නේ. සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපති ධුරය සුද්ද කර දුන්නා. පාර්ලිමේන්තුව සුද්ද කර දුන්නා. තවත් සුද්ද කරන්න ඕනෑ තැන් ගොඩක් තිබෙනවා. තවත් කුණු ටිකක් තිබෙන්න පුළුවන්. ඒ දේවල් ඒ අය විසින්ම සුද්ද වෙන්න ඕනෑ. නැතිනම් ඉදිරියේදී සුද්ද වෙන්න පුළුවන්කමත් තිබෙනවා. කොහොම වුණත් පළාත් සභාව සුද්ද පවිත්‍ර කර හදන්න ඕනෑකම තිබෙනවා. පළාත් පාලන ආයතන පවිත්‍ර කර හදන්න ඕනෑකම තිබෙනවා. මේක රටම සුද්ද පවිත්‍ර කිරීමේ වැඩක්. මේ මොහොතේ අපට ඡන්දය නොදුන් ජනතාවටත් තේරී පත්වුණ මන්ත්‍රීවරුන්ට, තේරී පත් නොවුණු කණ්ඩායම්වලට ආරාධනා කරනවා ජනමතයට සහ ජනවරමට එකඟ වෙලා රට ගොඩනඟමු.