සුරතලයට ඇති කරන සුනඛයකු පසුපස දිව ගිය අවුරුදු 2යි මාස 2ක් වයසැති පිරිමි දරුවකු ගල්ගමුව ප්රදේශයේදී කොළඹ සිට කන්කසන්තුරේ බලා යන ශීඝ්රගාමි දුම්රියේ ගැටී ඊයේ (22) පෙරවරුවේ මවගේ ඇස් ඉදිරියේම අවාසනාවන්ත අයුරින් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ගල්ගමුව පොලිස් වසමේ බුදුරුවකන්ද ප්රදේශයේ පදිංචිව සිටි දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ බාල දරුවා වූ එම්. සෙජාන් හසරංග නමැති දරුවාය.
මේ නිවෙසේ සිට මීටර් 15ක් පමණ දුරින් උතුරු දුම්රිය මාර්ගය පිහිටා ඇති නිසා කුඩා දරුවාගේ පැමිණීම වළක්වමින් ආවරණ වැටක් නිවෙසේ දොරටුව අසල ආරක්ෂාවට තබා තිබියදීත් දරුවා එය පෙරළාගෙන ගොස් ඇතැයි තොරතුරු වාර්තා වෙයි. දරුවාද සමඟ වෙළෙඳසලට යෑමට මව සූදානම් වන අවස්ථාවේ ආවරණ වැට පෙරළුණු ශබ්දය ඇසී, දරුවා දුම්රිය මාර්ගය දෙසට යන අයුරු දැක ඉවතට ගැනීමට දිව ගොස් ඇතත් ඒ සැණින් පැමිණි ශීඝ්රගාමි දුම්රියේ දරුවා ගැටී ඇත.
හදිසි මරණ පරීක්ෂක පී.එච්.එස්. රණවීර මහතා ඉදිරියේ ගල්ගමුව මූලික රෝහලේදී පශ්චාත් මරණ පරික්ෂණය සිදු කෙරිණි. අනුරාධපුර හා මහව අතර දුම්රිය මාර්ගයේ අලුත් වැඩියාවන් නිසා තාවකාලිකව නැවතී තිබුණු උතුරු දුම්රිය යළි ගමනාගමනය ආරම්භ වී, එහි උණුසුම මැකී යන්නත් මත්තෙන් වැඩිහිටි පරපුරේ නොසැලකිල්ල නිසා මෙවැනි අවාසනාවන්ත මරණයක් වාර්තා වී ඇතැයි හදිසි මරණ පරීක්ෂවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අප සමඟ පැවසීය.