රෝගි තත්ත්වයක් හේතුවෙන් පීඩා විඳිමින් සිටියදී රෝහලකදී මියගිය සැමියාගේ මෘත දේහය සිය නිවෙසට ගෙන ගොස් අවසන් කටයුතු කරගත නොහැකිව අසරණව සිටි කාන්තාවකට සහ ඇයගේ දරු තිදෙනකුට පිහිට වෙමින් ඒ මරණයේ අවසන් කටයුතු සියල්ල ඉටු කර දීමට ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් කටයුතු කළ පුවතක් මීගහකිවුල, තලාවතැන්න ප්‍රදේශයෙන් ඉකුත්දා (21) වාර්තා විය.

මියගිය ආරියදාස
මීගහකිවුල, තලාවතැන්න නම් වූ අතිදුෂ්කර ගම්මානයේ පදිංචි සිටි ඩී.එම්. ආරියදාස (50) නමැති පුද්ගලයකු සිද්ධියෙන් මියගොස් සිටියේය. කන්දකැටිය කන්දකැපූඋල්පත විහාරාධිපති හොබරියාවේ රතනසාර හිමියන්ගේ හා මීගහකිවුල ශ්‍රී සුභද්‍රාරාමාධිපති කපුවත්තේ ගුණවංශ හිමියන්ගේ මූලිකත්වයෙන්, බලගොල්ල, කිරිවෙහෙර, ඇල්ලන්ද ආදි විහාරස්ථානවල නාහිමිවරු, මීගහකිවුල හා බලගොල්ල ග්‍රාම නිලධාරීවරු, තලාවතැන්න හා අවට ගම්වාසීහු, බදුල්ල තිසර මල්ශාලාවේ හිමිකරු අශෝක පෙරේරා, මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ නිලධාරීහු මේ සත්ක්‍රියාවට දායක වූහ.
මියගිය පුද්ගලයා, බිරිය හා දරු තිදෙනා කිසිදු ආදායම් මාර්ගයක් නැතිව දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත් වුණු ප්‍රදේශයේ අසරණ පවුලකි. කලක් තිස්සේ පීඩා විඳි රෝගි තත්ත්වයක් උත්සන්න වීම හේතුවෙන් මාස ගණනාවක් තිස්සේ වරින් වර රෝහල්ගතව සිටි මේ පුද්ගලයා ඉකුත් 20 දා පස්වරුවේ මියගියේ ඔහුට වැලඳී තිබූ රෝගි තත්ත්වය උත්සන්න වීම හේතුවෙනි.
ඔහු මියයෑමත් සමඟම තව තවත් අසරණ වූ දරුවන් හා බිරිය ඔහුගේ දේහය නිවෙසට ගෙන ගොස් අවසන් කටයුතු පවා සිදු කරගත නොහැකිව අසරණ තත්ත්වයකට පත්ව සිටියේ ඒ වන විටත් ඔවුන් සතුව තිබූ සියලු මිල මුදල්ද ඔහුගේ රෝගි තත්ත්වයට වියපැහැදම් කිරීම හේතුවෙනි. ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටි ඔවුන්ගේ නිවෙස වෙත දේහය රැගෙන යෑම පවා ඔවුන්ට විශාල ගැටලුවක් වී තිබිණි. මේ තොරතුරු සැල වීමත් සමඟ ඒ පිළිබඳ අවධානය යොමු කළ කන්දකැටිය කන්දකැපූඋල්පත විහාරාධිපති හොබරියාවේ රතනසාර හිමි ඇතුළු මීගහකිවුල, බලගොල්ල, කිරිවෙහෙර, ඇල්ලන්ද ආදි විහාරස්ථානවල නාහිමිවරු සාකච්ඡා කොට ඔහුගේ අවසන් කටයුතු කර දීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු සංවිධානය කළහ.
මිනී පෙට්ටිය නොමිලේම සැපයීමට බදුල්ල තිසර මල්ශාලාවේ හිමිකරු අශෝක පෙරේරා මහතා කටයුතු කළ අතර, දේහය භූමදාන කිරීම සඳහා වළ සකස් කර දීමට මීගහකිවුල හා බලගොල්ල ග්‍රාම නිලධාරීන්ගේ මැදිහත් වීම මත මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ නිලධාරීහු හා සේවක පිරිස කටයුතු කළහ. මියගිය පුද්ගලයා පදිංචි ප්‍රදේශයේ ජනතාව එක්ව මීගහකිවුල රෝහලේ සිට දේහය සුසාන භූමිය වෙත රැගෙන යෑමෙන් අනතුරුව එතැනට වැඩම කළ ගරුතර සංඝරත්නය පැන් වඩා පින් අනුමෝදන් කරවූහ. අවසානයේ රැස්ව සිටි පිරිස එක්ව මියගිය පුද්ගලයාගේ භූමදාන කටයුතු ගෞරවාන්විතව සිදු කළහ.