ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධීක්ෂණය යටතේ ලබන මස 13 වැනිදා කොළඹදී පැවැත්වෙන ජාත්‍යන්තර මැණික් වෙන්දේසියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ජනාධිපති අරමුදලට පරිත්‍යාග කිරීමට තමන් කටයුතු කරන බව සිංහ ඔක්ෂන් සමාගම පවසයි.
ශ්‍රී ලංකාවේ මැණික් පතල් හිමියන්ට, මැණික් වෙළෙඳුන්ට, මැණික් ගැනුම්කරුවන්ට සහ මැණික් කර්මාන්තයේ නිරතවී සිටින සියලු දෙනාට ප්රතිලාභ හිමිවන ආකාරයට ජාත්‍යන්තර මැණික් වෙන්දේසියක් පැවැත්වීමට තමන් කටයුතු කළ බව ද එම ආයතනය කියයි. මැණික් කර්මාන්තය ආශ්‍රිතව මෙරටට ලැබෙන ආදායම් වැඩිකර ගැනීමේ අරමුණින් මෙය සංවිධාන කර ඇත.
මේ මැණික් වෙන්දේසිය සඳහා විදේශීය මැණික් ගැනුම්කරුවන් සහ මැණික් ව්‍යාපාරිකයන් ද සහභාගී වන අතර එකම වහලක් යට දෙස් විදෙස් සියලු දෙනාට ඒ සඳහා අවස්ථාවක් ලබාදීම සිදු වනුයේ කාලයකිනි. විදේශීය රටවල් ගණනාවක නියෝජිතයෝ මීට එක් වෙති. මේ අයගෙන් සියයට දහයක සේවා ගාස්තුවක් අය කරයි. එම මුදලින් කොටසක් සමාජ සුබසාධන සේවා සඳහා යෙදවීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ.
මීට අමතරව ලංකා පතල්කරුවන්ගේ සුබසාධක සංගමයට ආධාර පිණිස ද මේ මුදල් යොදා ගැනීමට සැලසුම් කර ඇත. අප රටේ හදවත් සහ පිළිකා රෝග වැනි රෝගාබාධවලින් පීඩාවට පත්ව සිටින රෝගීන්ට ජනාධිපති අරමුදල මඟින් මුදල් පරිත්‍යාග කෙරේ.
එම කටයුතු සඳහා සහාය වීමට තමන් ද පියවර ගන්නා බව මේ ජාත්‍යන්තර මැණික් වෙළෙඳපොළ සංවිධාන කරන සංවිධායක කමිටුව පවසයි.