Home » කොළොන්නාව ලක්සඳ සෙවණ මහල් නිවාස සංකී­ර්ණයේ පස්වැනි මහලේ ගින්න­කින් විදුලි රැහැන් පද්ධ­ති­යම විනා­ශයි

කොළොන්නාව ලක්සඳ සෙවණ මහල් නිවාස සංකී­ර්ණයේ පස්වැනි මහලේ ගින්න­කින් විදුලි රැහැන් පද්ධ­ති­යම විනා­ශයි

විෂ දුම ආඝ්‍රා­ණය වී සිව් දෙනෙක් රෝහ­ලේ

by damith
November 23, 2024 1:00 am 0 comment

කොට්ටාව - ප්‍රදීප් කුමාර

කොළො­න්නාව ලක්සඳ සෙවණ මහල් නිවාස සංකී­ර්ණයේ පස්වන මහලේ පෙරේදා (21) රාත්‍රී ඇති වූ හදිසි ගින්න­කින් එම ගොඩ­නැ­ඟිල්ලේ එක් පැත්තක අභ්‍ය­න්තර විදුලි රැහැන් පද්ධ­තිය (Duct line) සම්පූ­ර්ණ­යෙන්ම විනාශ වී ඇතැයි කොළඹ ගිනි නිවීම් සේවා දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි. මේ ගින්නෙන් පිට වූ විෂ දුමා­රය ආඝ්‍රා­ණය වී පුද්ග­ල­යන් සිවු දෙනකු ප්‍රති­කාර සඳහා කොළඹ ජාතික රෝහ­ලට ඇතු­ළත් කළ බව ද ගිනි නිවීම් සේවා දෙපා­ර්ත­මේ­න්තුව කියයි.

මේ ගින්න පෙරේදා (21) රාත්‍රී 11.20ට පමණ හට­ගෙන ඇති අතර ඒ බව කොළඹ ගිනි නිවීම් සේවා දෙපා­ර්ත­මේ­න්තු­වට කළ දැනු­ම්දී­ම­කට අනුව එහි කාර්ය භාර නිල­ධාරී බී.ඩී.ඇම්. කරු­ණා­ති­ලක මහතා ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් ගිනි නිවීම් රථ දෙකක් සමඟ එම ස්ථාන­යට ගොස් තිබුණි.

ඒ යන විටත් ගොඩ­නැ­ඟිල්ලේ පස්වන මහලේ ගින්නක් හට­ගෙන තිබූ අතර එය පාල­නය කිරී­මට කෝට්ටේ මහ නගර සභාවේ තවත් ගිනි නිවන රථ දෙකක් ගෙන්වා තිබූ බව ද වාර්තා වෙයි.

මේ ගොඩ­නැ­ඟි­ල්ලට විදු­ලිය සැප­යෙන ගොඩ­නැ­ඟිල්ලේ එක් පැත්තක පිහිටි අභ්‍ය­න්තර විදුලි රැහැන් පද්ධ­තිය ගමන් ගන්නා (Duct line) මාර්ගයේ මේ ගින්න හට­ගෙන තිබූ අතර විදුලි කාන්දු­වක් මේ ගින්නට හේතු වී ඇතැයි පැවසේ. මෙහි අට­වන මහලේ තිදෙ­නකු සිර වී සිටින බවට ලද තොර­තු­ර­කට අනුව ගිනි නිවන භට­යන් මහත් පරි­ශ්‍ර­ම­යක් දරා ඔවුන් තිදෙනා ද බේරා­ගෙන තිබේ. මීට දින දෙක­කට පෙරත් මේ මහල් සංකී­ර්ණයේ ගින්නක් හට­ගෙන ඇති අතර එහි පදිං­චි­ක­රු­වන් විසින් එම ගින්න නිවා දමා තිබේ.

මේ ගොඩ­නැ­ඟිල්ලේ ගිනි නිවීමේ පද්ධ­තිය සම්පූ­ර්ණ­යෙන්ම අක්‍රි­යව පැව­තීම සහ ඒවායේ උප­ක­රණ සොරුන් ගල­වා­ගෙන යෑම ගින්න පාල­නය කිරී­මට බාධා එල්ල වී තිබුණි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැල්ල­ම්පි­ටිය පොලී­සිය පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT