ප්රජාතන්ත්රවාදයේ ශක්තිමත්භාවය පවතින්නේ, ඒ සඳහා පුරවැසියන්ගේ සමාන වූ සහභාගිත්වය තුළය. “කාන්තාවන්ගේ හඬට කන් යොමන සමාජය, සිය කතිකාව සම්පූර්ණ කර ගන්නේය” යනුවෙන් ප්‍රකාශ කරන ලද්දේ, ලයිබීරියාවේ ජනාධිපති තනතුර උසුලන ලද එලන් ජොන්සන් සර්ලීෆ් විසිනි.
ලයිබීරියාව යනු බටහිර අප්‍රිකානු වෙරළ තීරයේ පිහිටි රටකි. නිදහස ප්‍රකාශ කළ, පළමු අප්‍රිකානු ජනරජය හෙයින්, එය කලාපයේ දේශපාලන අත්දැකීම්වලින් පොහොසත්මැ දේශයය. එලන් ජොන්සන් වනාහි සමස්ත අප්‍රිකාවම ලෝකයට ගෙන ගිය කතකි. ඕ සිය නම දේශපාලන පොතේ ලියවාගන්නී, අප්‍රිකානු කලාපයේ පළමුවරට මැතිවරණයකින් ජනපති අසුන සඳහා පැමිණි කාන්තාව ලෙසය. ඇය ඡන්දයෙන් ජයග්‍රහණය කරන ලද්දේ 2005 වසරේ අද වැනි දිනකය.
කාන්තාවගේ දේශපාලන සහභාගිත්වයේ මඳසරුභාවය විසින් සමාජ ක්‍රමය සෑහෙන පමණකට වඳ පීදී ඇත්තේ හෙයින්, එලන් ජොන්සන්, මේ තීරුව සිය ආරම්භය සඳහා උපයෝගී කර ගන්නේය.
වත්මන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය විසි එකක් බවට පත්ව තිබේ. සමස්තයේ පංගුවක් ලෙස එය හොඳටම මදිය. ජනගහනයට සාපේක්ෂව ගත් කළ සතුටු විය නොහැක්කේ නමුත්, සිටි ස්ථානය අනුව ලබාගෙන ඇති දේ, ඉඳුරාම ජයග්‍රහණයකි.
1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා සර්වජන ඡන්දය භාවිත විය. ජනතා පරමාධිපත්‍යය සඳහා වූ ඡන්ද වරම අපට ලැබෙනුයේ ස්ත්‍රී පුරුෂ භේදයන්ගෙන් තොරවය. එසේ වුවද දේශපාලන නියෝජනය මුල සිටම ධාවනය වූයේ පුරුෂ ආඛ්යානයකය. එය සමහර විට පැවති සමාජයේ හැඩතලය අනුව පෙළගැසුණා විය හැකිය. අනික ඒ වන විටත් පුරුෂ මූලිකත්වය, පාලනය සඳහා යෙහෙකි යන්න සම්මතයක් සේ දිග හැර තිබුණා විය හැකිය.
පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට පසුගිය සැප්තැම්බර් 24 වෙනිදා විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව දක්වා වූ පරාසයේ, ව්‍යවස්ථාදායකය නියෝජනය කර ඇත්තේ කාන්තාවන් 71 දෙනෙකු පමණය. සන්ධිස්ථානීය ජයග්‍රහණ බොහොමයක් ලබාගෙන ඇත්තේ වුවද වසර අසූ හතක ශේෂ පත්‍රය එබඳුය. පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා ඇඩ්ලින් මොලමුරේගේ පත්වීමේ සිට පනස් හයේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරිය ලෙස පත්වූ විමලා විජයවර්ධන, ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය නියෝජනය කළ පළමු ඇමැතිවරිය වූවාය. ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය සහ අගමැතිනියන් දෙදෙනෙකු අප බිහි කර ඇත්තේය.
එසේ වෙතත් අඛණ්ඩ දේශපාලන රැඳී සිටීමක් ශ්‍රී ලංකා දේශපාලන සහභාගිත්වයේ කාන්තාවන් අතර තිබුණේ නැත. ආවෝ ගියෝ පන්නයට කාන්තා නියෝජනය හැඩ ගැසීම සඳහා බලපාන ලද සාධක මෙහිදී සලකා බලා, පිළියම් යෙදීම අවශ්‍යය.
මෙවර පත්ව ඇති කාන්තා නියෝජනය දෙස බලන විට ඉන් විසි දෙනෙක් ජාතික ජන බලවේගය නියෝජනය කරන්නාහ. දෙදෙෙනක් සජබයෙන්ය. මේ සියල්ලෝ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හෙයින් එය ඍජු ජනතා තේරී පත් කිරීමක් වන්නේය. ශ්‍රී ලංකාවේ මතු නොව ආසියාවේ දේශපාලනයේ ස්ත්‍රී නියෝජනය සඳහා ඇති ව්‍යාධිය වන්නේ එය දූවරුන්ගේ සහ වැන්දඹුවන්ගේ සහලක්ෂණය සහිත වීමය. මේ ආකාරයෙන් තොරව වත්මන් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පත්වීම මෙවර අප ලබාගන්නා ලද තවත් ජයග්‍රහණයකි. ජාතික ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරියෝ මේ ලක්ෂණය දුරු කර ඇත්තාහ. එසේම ඔවුන්ගේ නියෝජනයේ විවිධත්වය ද කාන්තා දේශපාලන සහභාගිත්වය තවත් වර්ණ ගන්වා ඇත්තේය.
මෙවර පැමිණ සිටින මන්ත්‍රීවරියන් විසි දෙක අතරෙන් හරිනි අමරසූරිය සහ රෝහිනී කවිරත්න හැරුණු කළ අන් විසි දෙනාම මැතිසබයේ නියෝජනය සඳහා පැමිණෙන්නේ පළමු වරටය. එවැනි විශේෂතා සහිත කාන්තා නියෝජනය වර්ණනා කළ පමණින් එහි සුවිශේෂී ගුණය අපට අත්දැකීමට නොලැබෙන්නේය. ඒ සඳහා වූ මඟ දැක්මක් සමාජයක් ලෙස ඇය වෙත අප දිය යුත්තේය.
මේ තීරුව සිය පූර්විකාව සඳහා උපයෝගී කර ගන්නා ලද්දේ දකුණු අප්‍රිකානු ප්රජාතන්ත්රවාදයේ විශිෂ්ටතම කාන්තා නියෝජනය වූ එලන් ජොන්සන්ය. ඇයගේ පාලන කාලයේ, ලයිබීරියාව ඉබෝලා මාරයාගේ ගොදුරු බිමක් බවට පත්වෙන්නට පටන් ගෙන තිබුණි. ජනයාගේ මියැදීම ගණන් හිලව් ගැනීමට ද නොහැකි තරම් වේගවත්භාවයක් ප්‍රදර්ශනය කළේය. ඇය වහා සිය දේශය සුවපත් කිරීම සඳහා වෙහෙස වූවාය. සෞඛ්‍ය යන්ත්‍රණය සඳහා නව ආකෘති ඇති කරමින් ඉබෝලා වෙත අභියෝග කළ හෙයින් මරණ පන්දහසක ප්‍රමාණයෙන් ලයිබීරියාව බේරා ගැනීමට ඕ සමත් වූවාය. “ඉබෝලා වයිරස් භීතිය, ආරම්භයේදී ඊට විසඳුමක් නොදුටු ජනතාව ස්වීය ජීවිත ආරක්ෂාව තකා පලා ගොස් සැඟවීමේ තැනකට තල්ලු කළේය. ඔවුන් රැඳී සිටියේ ප්‍රජාව අතරය.
මම එය දනිමි. 2014 වසරේ මමත් එම සියලුම වැරදි ක්‍රියාමාර්ග ගෙන ඇත. ලෝකයේ වෙනත් වගකිව යුත්තන් අතින් ද එම වරද සිදුවිය. එහෙත් අපි එය නිවැරදි කර ගත්තෙමු. එය අප විසින් නිවැරදි කර ගන්නා ලද්දේ සාමූහික ප්‍රයත්නයෙනි. මේ ආකාරයට ඇය ස්වීය අත්දැකීම් ප්‍රකාශ කරන ලද්දේ, කොවිඩ් වසංගතය පැමිණි වහාය.
මේ රටේ දේශපාලන දේහයේ මතු නොව සමාජ දේහය ද වසාගත් එවැනි ව්‍යාධි රාශියකි. අධ්‍යාපනයේ සිට සෞඛ්‍ය ඈ කේෂ්ත්‍ර ගණනාවක් තවම ගමන් කරන්නේ, නිදි කිරමින්ය. මේ කේෂ්ත්‍රයන් දෙකමැ ගමන යන්නේ නොදැනය. සාක්ෂාත් කර ගත යුත්තේ කුමන ඉලක්කය දැයි නොම දන්නේ හෙයින්, එදිනෙදා දවස ගෙවන්නේ හැර අන් යමක් සිදු වන්නේ නැත. මන්ත්‍රීවරියෝ අත ඇති වගකීම වන්නේ මෙවන් කේෂ්ත්‍ර සඳහා මව්වත් ගුණ යුතු මාර්ග උපදේශයක් තනා දී, ඒ සඳහා නව මංපෙත් විවර කිරීමය. ලයිබීරියාවෙන් ඉබෝලා තුරන් කළ එලන් ජොන්සන් සේ, මේ රට සුවපත් කිරීම උදෙසා නවමු කාර්යයක් එවිට ඔවුන් ඉටු කරනවා ඇත.