Sunday, April 20, 2025
Home » ශ්‍රම සුරක්ෂිත සංක්‍රමණ වැඩසටහන නිල වශයෙන් රජය වෙත

ශ්‍රම සුරක්ෂිත සංක්‍රමණ වැඩසටහන නිල වශයෙන් රජය වෙත

by damith
November 23, 2024 1:15 am 0 comment

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සහයෝගිතාවයෙන් ක්‍රියාත්මක කරන ලද සුරක්ෂිත ශ්‍රම සංක්‍රමණ වැඩසටහන (SLMP) නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදීමේ උත්සවය පසුගියදා කොළඹ, සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සුරක්ෂිත සහ නිත්‍ය ශ්‍රම සංක්‍රමණ ක්ෂේත්‍රය සැලකිය යුතු ලෙස ඉදිරියට රැගෙන ගිය වසර 14ක හවුල්කාරීත්වයේ විධිමත් අවසානය සනිටුහන් කිරීම මෙම උත්සවය ඔස්සේ සිදු කරන ලදි.

2010 වසරේ දී SLMP පාර්ශ්වකරුවන් රැසකගේ සහයෝගිතාවයෙන් ආරම්භ කරන ලද මෙම වැඩසටහන සඳහා CHF මිලියන 16.65ක ආයෝජනයක් සමඟ සම්පූර්ණ අරමුදල සපයනු ලැබුවේ සංවර්ධනය හා සහයෝගිතාව සඳහා වන ස්විස් එන්ජන්සිය (SDC) විසිනි. මෙම වැඩසටහන ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), HELVETAS Swiss Intercooperation, International Executive Service Corps (IESC) සහ සිවිල් සමාජ සංවිධාන කිහිපයක (CSOs) දායකත්වය සහිතව දියත් කරන ලද අතර එහි මූලික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා පුළුල් හා පැහැදිලි ප්‍රවේශයක් ලබාදෙන ලදි.

එම වැඩසටහන හරහා ලබාගත් ප්‍රගතීන් කිහිපයක් පහතින් දක්වා ඇත.

• ප්‍රතිපත්ති සම්පාදනය : සංක්‍රමණික සේවකයන්ගේ සුරක්ෂිතතාව සහ සුබසාධනය වැඩිදියුණු කිරීම සහතික කරමින් 2023-2027 සඳහා ජාතික කම්කරු සංක්‍රමණ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී සැලැස්ම අනුමත කිරීම.

• ධාරිතා වර්ධනය : විදේශ රැකියා සඳහා සංවර්ධන නිලධාරීන් 600කට අධික පිරිසක් (DOFEs) පුහුණු කරන ලද අතර, 250,000කට වැඩි සංක්‍රමණික ප්‍රජා සාමාජික පිරිසක් සඳහා සෘජුවම ආරක්ෂිත සංක්‍රමණ තොරතුරු ලබාදීම.

• නිපුණතා සංවර්ධනය: සංක්‍රමණික සේවකයන් 6,400කට අධික සංඛ්‍යාවකට මාර්ගෝපදේශ සහ කුසලතා හඳුනාගැනීමේ සේවා සැපයීම සහ නව විෂයමාලා සහ සහතික කිරීමේ ක්‍රමවේදයන් හඳුන්වාදීම.

• බිම් මට්ටමේ වැඩසටහන්: සංක්‍රමණ තොරතුරු මධ්‍යස්ථාන 13ක් පමණ සක්‍රියව ක්‍රියාත්මක වන අතර දිස්ත්‍රික් මට්ටමින් අත්‍යවශ්‍ය සේවා සැපයීම.

ශ්‍රී ලංකා රජය, වෘත්තීය සමිති, සිවිල් සමාජ සංවිධාන සහ සේවායෝජකයන්ගේ සංගම් මෙම ව්‍යාපෘතිය සඳහා දක්වන ලද නොසැලෙන සහයෝගිතාව සහ කැපවීම ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සහ ILO විසින් බෙහෙවින් අගය කරන ලදි. SLMP සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීමට සහ එහි ප්‍රතිඵල අත්කර ගැනීමට ඔවුන්ගේ එම සාමූහික ප්‍රයත්නයන් සුවිශේෂී පිටිවහලක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT