Home » ප්‍රීමා යූත් ලීග් ක්‍රිකට් මහනුවර සහ කොළඹ දකුණ පළමු දිනයේ ජය ගනී

ප්‍රීමා යූත් ලීග් ක්‍රිකට් මහනුවර සහ කොළඹ දකුණ පළමු දිනයේ ජය ගනී

by mahesh
November 22, 2024 1:00 am 0 comment

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති තරගවලින් ජයග්‍රහණ අත්කර ගැනීමට මහනුවර සහ කොළඹ දකුණ ක්‍රීඩකයෝ සමත් වූහ.

කණ්ඩායම් 5ක් එක්වන තරගාවලිය යටතේ කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී මහනුවර පිල හමුවේ ගාල්ල කණ්ඩායම කඩුලු 3කින් පරාජය වූ අතර, කොළඹ දකුණ පිල වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 5ක ජයක් වාර්තා කළේ කොළඹ උතුර පිලට එරෙහිවය.

ගාල්ල – මහනුවර තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාලු ඉනිම ලකුණු 73කට සීමා කළ මහනුවර ක්‍රීඩකයෝ ඕවර 28කදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 7ක් දැවී තිබියදීය. මේ තරගයේදී කැපීපෙ‍ෙනන පන්දු යැවීමක නිරත වූ මහනුවර පිලේ කුසල් බණ්ඩාර ලකුණු 11කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. කොළඹ උතුර සමඟ තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 142ක ඉලක්කයක් හඹා ගිය කොළඹ දකුණ පිල ඕවර 46.4කට කඩුලු 6ක් දැවී ලකුණු 131ක් රැස් කර සිටියදී වර්ෂාවෙන් බාධා විය. ඒ හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය තීරණය කළ අතර, ඒ වන විට කොළඹ දකුණ පිල රැස් කළ යුතුව තිබුණේ ලකුණු 126ක් පමණි.

තරගාවලියේ දෙවැනි දිනය වන අද (22) දඹුල්ල – කොළඹ දකුණ කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදීත්, මහනුවර – කොළඹ උතුර වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදීත් තරගවැදීමට නියමිතය.

මහනුවරට කඩුලු 3ක ජයක්

ගාල්ල – 73 (ඕවර 20.4) තිඔන් හෙලික 25, රවීන් සචින්ත 16 (කුසල් බණ්ඩාර 11/4, චනුල් කොඩිතුවක්කු 22/2)

මහනුවර – 74/7 (ඕවර 28) සනිතු ගුණතිලක 16, යෙනුල හේවාවිතාරණ නොදැවී 15 (සඳරු මල්ෂාන් 15/3, තරුන් වනසිංහ 15/2, තිඔන් හෙලික 17/2)

කොළඹ දකුණට ලකුණු 5 ජයක්

කොළඹ උතුර – 141 (ඕවර 47.4) බිනෝද් සන්දිල් 22, උෂාන් අදිත්‍ය 19, ශෂිඳු සිල්වා 19 (දුෂේන් උඩවල 18/3, මිතුම් ප්‍රනාන්දු 24/2)

කොළඹ දකුණ – 131/6 (ඕවර 46.4) අධීෂ ලක්ෂාන් නොදැවී 33, මහිරු කොඩිතුවක්කු නොදැවී 22, සුබෝධ දෙව්තිළිණ 18 (හිමිර කුඩාගම 15/2, ශම්මා ජොනතන් 28/2, ශනුක ජයවර්ධන 30/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT