Home » අපරික්ෂාකාරීව ත්‍රිරෝදය පදවා පදිකයකු හැප්පූ රියැදුරු රිමාන්ඩ්

අපරික්ෂාකාරීව ත්‍රිරෝදය පදවා පදිකයකු හැප්පූ රියැදුරු රිමාන්ඩ්

by mahesh
November 22, 2024 1:00 am 0 comment

මහර සමූහ - ගණිදු රෝචන සමරතුංග

ත්‍රිරෝද රථයක් නොසැලකිලිමත් ලෙස සහ අපරීක්ෂාකාරී අයුරින් ධාවනය කර කිරිබත්ගොඩ, මාකොළ, සරත්චන්ද්‍ර ඩයස් මාවත අසලදී මාර්ගය හරහා මාරු වූ පදිකයකු අනතුරට ලක් කර බරපතළ තුවාල සිදු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ අයකු ලබන නොවැම්බර් මස 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය නියම කළාය.

මෙම සිද්ධිය සම්බන්යෙන් ටී.ජී. ධනුෂ්ක කුලරුවන් යන අය එසේ බන්ධනාගාර ගත කෙරිණ. මෙම සිද්ධියෙන් උඩුගම්පොළ, දොළහාන පාර ප්‍රදේශයේ පදිංචි එම්. චන්දන උපුල් කුමාර මාබුල යන අය බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණ.

කිරිබත්ගොඩ පොලීසියේ රථවාහන අංශයේ කොස්තාපල් (81236) කුලතිලක මහතා වැඩිදුර වාර්තාවක් මගින් පැමිණිල්ල ඉදිරිපත් කරමින් සැකකාර ත්‍රිරෝද රථ රියැදුරාගේ නොසැලකිලිමත් සහ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව අධිකරණය හමුවේ පැවසීය. මීට අමතරව මෙම අනතුරෙන් තුවාල ලැබූ තුවාලකරුගේ හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් ඔහුගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකිව ඇති බවත්, එම නිසා මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවත් කොස්තාපල්වරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසීය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT