– මව සැමියා සමඟ අමනාපව ආතතියකින් කල් ගෙවලා
– පෙණැහැල්ලේ කිරි සිර වුණැයි මරණ පරීක්ෂණයෙන් තීන්දුවක්
පාදුක්ක, උතුරු අරුක්වත්ත ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවකු ඉකුත් දා (19) අලුයම මවු කිරි සිර වීම හේතුවෙන් මියගොස් ඇතැයි පාදුක්ක පොලීසිය පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක, අරුක්වත්ත උතුර, 293/ 1 හි පදිංචි කේ.බී. ඩබ්ලිව්. එම්.එස්. අරණ්‍යා මතුපොළ නමැති මාස 1යි දින 23ක පමණ සිඟිත්තියකි. මෙම කුඩා දරුවා මව සමග පෙර දින රාත්‍රියේ නිදාගෙන සිට ඇති අතර, පසුදින අලුයම දරුවා නිහඬව සිටීම සම්බන්ධයෙන් මව සොයා බැලීමේදී දරුවාගේ ඇඟ සීතල වී තිබූ බව මව පොලීසියට පවසා තිබේ.
පේරාදෙණිය ළමා රෝහලේ 2024.09.24 දින උපත ලබා ඇති මෙම දරුවා, පිළිමතලාව ප්‍රදේශයේ මව සහ පියා සමඟ ජීවත්ව සිට තිබේ. තම සැමියා සමඟ සිදු වූ ආරවුලක් මත ඉකුත් 11 වැනි දින සැමියාගේ මවුපියන් හා මෙම මව දරුවා සමඟ අරුක්වත්ත උතුර ප්‍රදේශයේ ඇයගේ නිවෙසට පැමිණ ඇති බවත්, මව එම වකවානුවේදී යම්කිසි ආතතියකින් නිවෙසේ කල් ගෙවා ඇති බවත් මවගේ ප්‍රකාශ අනුව තහවුරු වූ බව පොලීසිය සඳහන් කළේය. සිද්ධියෙන් පසු දරුවා පාදුක්ක රෝහලට රැගෙනවිත් ඇති අතර, එහිදී පාදුක්ක හදිසි මරණ පරීක්ෂක සුසන්ත ජයතුංග මහතා විසින් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා දරුවාගේ දේහය හෝමාගම රෝහලට යැවීමට නියෝග කර ඇත.
හෝමාගම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රණීත සෙනෙවිරත්න මහතා මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මවු කිරි පෙණහැල්ලේ සිරවීමෙන් මෙම මරණය සිදුව ඇති බවට නිගමනය කර තිබේ. පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායක මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (62337) අජිත් මහතා වැඩිදුර සාක්ෂි මෙහෙයවීය.