පුහුණුව ලත් සාත්තු සේවක සේවිකාවන්ට ජපානයේ වැඩිහිටියන් රැක බලා ගැනීමේ රැකියා අවස්ථා රැසක් විවෘතව පවතින බව සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපානයේ පෞද්ගලික රෝහල් සමූහයක ප්‍රධාන පෙළේ නියෝජිතයෝ පිරිසක් ප්‍රකාශ කළහ.
වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වයඹ පළාතේ ක්‍රියාත්මක ප්‍රධානම වැඩිහිටි නිවාසය හා ඊට අනුබද්ධ සාත්තු සේවා පුහුණු ආයතනය නැරඹීමට පැමිණි එම ජපන් ජාතික නියෝජිතයන් මේ බව ප්‍රකාශ කළහ.
ජපානයේ ඉබරාකි නගරයේ සිමුරාඔමියා රෝහලේ සහ රෝහල් සමාජ සුබසාධන ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කුනිහිකෝ සුසූකි, හකුජින්කායි ෂිමුරා ඔමියා, රෝහලේ සාමාන්‍යාධිකාරී නාඔහිකෝ මියාගාවා, හකායුකායි, සමාජ සේවා පදනමේ ප්‍රධාන විධායක නිලධාරි කසුකෝ ඉබාටා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හිසානෝරි මෝරී සහ එන්.ඒ. පාට්නර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මිචියුකී ඕතා මහත්ම මහත්මීන් මෙහි පැමිණි නියෝජිත පිරිස වූහ.
කුරුණෑගල මල්ලවපිටියේ පදිංචි දැනට ජපානයේ සයිතමා නගරයේ සාත්තු සේවා ආයතනයක සේවයෙහි නිරත හර්ෂණී ප්‍රේමසූරිය මෙණෙවිය සහ මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ පාලක මණ්ඩලයේ සභාපති ආතර් සිකුරාජපති මහතා එක්ව මෙම අවස්ථාව සම්බන්ධීකරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය කුනිහිකෝ සුසූකි මහතා කියා සිටියේ ජපානයේ දරු උපත් ප්‍රමාණය අඩුවෙමින් වයෝවෘද්ධ පිරිස් වැඩිවෙමින් තිබෙන බවය. මේ හේතුව නිසා වැඩිවෙමින් තිබෙන වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා සාත්තු සේවයට අවශ්‍ය ප්‍රමාණවත් තරම් පිරිස් එරට නැතිවීම බරපතළ ගැටලුවක් වී ඇති බවය. එබැවින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයකින් එරට සාත්තු සේවක රැකියා සඳහා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ සාත්තු සේවක පුහුණුව ලබන සිසු සිසුවියන් ඇතුළුව මෙරට සිටින මනාව පුහුණුව ලත් සාත්තු සේවක සේවිකාවන්ට තම ආයතන මාර්ගයෙන් ජපානයේ රැකියා ලබා දීමට සූදානම් බවද එම නියෝජිත පිරිස දැනුම් දුන්හ. ජපානයේ රැකියා සඳහා ජපන් භාෂා පුහුණුවද ඉතාම වැදගත් බවත් ඔවුන් පෙන්වා දුන්නේය.
මිල්ලව ධර්මවිජය විහාරස්ථාන පරිවේණාධිපති ඕපාත ධම්මඥාන හිමි, මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරි හේරත් සහ මීලියද්ද මහත්මීහුද සහභාගි වූහ.