Sunday, April 20, 2025
Home » අපරාධකරුවන්ට මෙන්ම ආධාර අනුබල දෙන්නන්ටත් දඬුවම එකයි

අපරාධකරුවන්ට මෙන්ම ආධාර අනුබල දෙන්නන්ටත් දඬුවම එකයි

by mahesh
November 22, 2024 1:00 am 0 comment

ගන්දර සමූහ - ජයසිරි පේදුරුආරච්චි

විවිධ සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා අපරාධකරුවන්ට සේම ඔවුන්ට ආධාර අනුබල දෙන, ඔවුන්ගෙන් වරප්‍රසාද ලබන හෝ වෙනත් වැරදි වැඩ කරන නිලධාරීන්ට ද දඬුවම සමාන බවත් සියලු දෙනා අපරාධකරුවන් සේ සලකා අධිකරණය හමුවට පමුණුවා දඬුවම් ලබාදීම සිදුකරන බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එලෙස පැවසූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාල ක්‍රියාකාරකම්, මහජන විරෝධී සාපරාධී ක්‍රියාවන් මේ සියල්ලටම සැලසුම්ගත ලෙස නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට කටයුතු කරන බවයි.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේ තමන් ඇතුළු සියලු පොලිස් නිලධාරීන් නිරතුරු කැපව සිටින්නේ නීතිය ආරක්ෂා කිරීමට බවයි.

වැරදි කළ කිසිවකුට නීතියේ ඉඩක් නැති බවත් වෙනත් රැකවරණ ලබමින් සැඟව සිටීමට, කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් ක්‍රියාත්මක කිරීමට කිසිදු ඉඩක් මින් ඉදිරියට නොලැබෙන බවත් ඒ මහතා පැවසුවේය.

මේ අවස්ථාවට දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, මාතර හා තංගල්ල දිශා භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව, මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT