Monday, April 21, 2025
Home » මාතලේ රෝහලේ හොර දොස්තර රිමාන්ඩ්

මාතලේ රෝහලේ හොර දොස්තර රිමාන්ඩ්

by mahesh
November 22, 2024 1:00 am 0 comment

මාතලේ මධ්‍යම සමූහ, උකුවෙල සංචාරක - ප්‍රියන්ත සුමනසේන

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් රෝගීන්ට බෙහෙත් නිකුත් කරමින් සිටි පුද්ගලයකු මාතලේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් නිල්මිණි රන්කොත්ගේ මහත්මිය ඊයේ (21) නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මහාපන්විල, රක්වාන රත්නපුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පන්විල මොහොට්ටාලගේ ලසන්ත චින්තක සමන් මොහොට්ටාල නමැත්තාය.

මෙම සැකකාර ව්‍යාජ වෛද්‍යවරයා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සති දෙකක පමණ කාලයක් වෛද්‍යවරයකු ලෙස වෙද නලාව ද බෙල්ලෙ රුවා ගනිමින් වෛද්‍ය නිල ඇඳුම ද සහිතව රෝහලේ කටයුතු කර තිබේ.

එම පුද්ගලයාගේ හැසිරීම් රටාව පිළිබඳ සැක සිතී රෝහලේ අධ්‍යක්ෂවරයා කළ පැමිණිල්ලක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව මාතලේ පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකාර ව්‍යාජ වෛද්‍යවරයා රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර සිදු කර ඇත්තේ ද යන්න පිළිබඳව ද මේ වන විට පරීක්ෂණ සිදු කරමින් සිටින බව ද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

අත්අඩංගුවට පත් පුද්ගලයා සති දෙකක පමණ සිට මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස වෙද නළාව ද බෙල්ලේ දමාගෙන රෝහල තුළ කටයුතු කර ඇති අතර, එම පුද්ගලයාගේ හැසිරීම් රටාව පිළිබඳව රෝහලේ අනෙකුත් වෛද්‍යවරුන්ට හා රෝහල් අධ්‍යක්ෂවරයාට ඇතිවූ සැකය මත අධ්‍යක්ෂවරයා මෙම පුද්ගලයා පිළිබඳව මාතලේ පොලීසියට දැනුම් දී තිබේ.

මෙම පුද්ගලයා වෙද නළාව, නිල ඇඳුම ද සහිතව විවිධ අංශවල සේවය කරන බව පවසා දින කිහිපයක් සැරිසරා ඇති බවත්, රෝහල් සේවකයන්ගේ නිරන්තර ප්‍රශ්න කිරීම්වලදී තමා 13 වාට්ටුවේ සේවය කරන බවටත්, නැවත බාහිර රෝගී අංශයේ සේවය කරන බවටත් පවසමින් කළ පරස්පර විරෝධී ප්‍රකාශ සම්බන්ධයෙන් වූ සැකය මත සේවකයන් රෝහල් අධ්‍යක්ෂවරයාව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කර තිබිණි. ඒ අනුව මාතලේ පොලිස් ස්ථානාධිපති උපුල් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මාතලේ අපරාධ අංශය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පරීක්ෂණ සිදු කිරීමේදී ඔහු සතුව ජාතික හැඳුනුම්පත පමණක් තිබී ඇති බවත්, වෙනත් කිසිදු ලියැවිල්ලක් හෝ නොතිබූ බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. සැකකරු පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මාතලේ පොලීසිය මගින් සිදු කරනු ලබන අතර, සැකකාර පුද්ගලයා මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT