Home » ජනතා විමුක්ති පෙරමුණ හැර වෙනත් කිසිදු පක්ෂයකට හෝ නායකයකුට ප්‍රතිපත්තියක් නැහැ
මහින්ද සහ මෛත්‍රී ශ්‍රීලනිපය විනාශ කළා

ජනතා විමුක්ති පෙරමුණ හැර වෙනත් කිසිදු පක්ෂයකට හෝ නායකයකුට ප්‍රතිපත්තියක් නැහැ

හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ

by mahesh
November 22, 2024 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

ජනතා විමුත්ති පෙරමුණ හැර මේ රටේ වෙනත් කිසිදු පක්ෂයකට හෝ නායකයකුට ප්‍රතිපත්තියක් නැතැයි හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ඊයේ (20) පැමිණ වැඳ පුදා ගැනීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් විජයදාස රාජපක්ෂ මහතා මේබව පැවසීය.

විධායක ජනපතික්‍රමය ඇති කිරීමෙන් පසු ජනපති ධුරයට පත් ආර්. ප්‍රේමදාස මහතාගේ සිට සියලු පක්ෂ නායකයන් තමන්ගේ පක්ෂය තුළ දෙවැනි පෙළකට නැඟී සිටීමට අවස්ථාවක් නොදී ඔවුන් මර්දනය කළා. විවේචනයන් ගණන් ඉවසුවේ නැහැ.

විධායක ජනපති ධුරය ඇති කිරීමෙන් පසු එම ධුරයට පත් වූ නායකයන් තමන්ගේ දේශපාලන පක්ෂයේ නායකයා බවට පත් වුණා. ප්‍රේමදාස ජනපතිවරයාගේ සිට බලයට පැමිණි කිසිම නායකයෙක් තමන්ගේ පක්ෂයේ දෙවැනි පෙළකට හිස එසවීමට ඉඩ නොදී ඔවුන් මර්දනය කළා. සමහරු ඝාතනයට පවා ලක් වුණා. පසුගිය පාර්ලිමේන්තුවට එනකොට එජාප මන්ත්‍රී ධුර ගණන එකකටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ධුර ගණන එකකටත් අඩු වී තිබුණා. තට්ටුමාරු ක්‍රමයට හිටපු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ නායකයෝ තමුන්ගේ දේශපාලන පක්ෂ විතරක් නොවෙයි රටත් විනාශ කළා. රට බංකොලොත් කළා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස අපි පසුගිය වසර දෙකේ දී ලොකු කැපවීමක් කරලා රට මේ තියෙන තැනට ගෙනාවා. පසුගිය මැතිවරණය වනවිට ජනතවට තෝරාගත යුතු විකල්පයක් තිබුණේ නැහැ. ඒ නිසා ඉතිහාසයේ පළමු වතාවට තුනෙන් දෙකකට වැඩි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් තනි දේශාපාලන පක්ෂයට ජනතාව ලබා දුන්නා.

පෙරට වඩා රට ඉදිරියට ගෙන යෑමට අභියෝග වැඩියි. ජනතාව විශාල බලාපොරොත්තු කන්දක් එක්කයි ඡන්දය දුන්නේ. ඒක ඉටු කිරීමේ වගකීම වත්මන් ආණ්ඩුවට තිබෙනවා. පවතින දේශපාලන පක්ෂ ප්‍රවාහය තුළ ජනතා විමුක්ති පෙරමුණ හැර අනෙක් කිසිදු පක්ෂයකට හෝ ඒවායේ නායකයන්ට ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරුන් රටට කිසිම වැදගත් වන වැඩක් නොකළ බව මල්වතු මහනාහිමියෝ පැවසුවා. උන්වහන්සේ පවා ඒ ආකාරයෙන් අදහස් පළ කරනවා නම් තවදුරටත් මේ දේශපාලනයේ රැඳී සිටීම තේරුමක් නැහැ. මට මගේ පුද්ගලික වැඩ කටයුතු රාශියක් තියෙනවා. මට දැන් ඒවා බලාගන්න පුළුවන්. කඩා වැටී තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩ ගැනීමේ අවංක චේතනාවෙන් තමයි මම ජනපතිවරණයට ඉදිරිපත් වුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන් විනාශ කිරීමේ වගකීම මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන එක එල්ලේම භාරගත යුතුයි. මේ දෙන්නා තමයි මේ පක්ෂය සම්පූර්ණයෙන්ම විනාශ කළේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT