Monday, April 21, 2025
Home » කොළඹ ට්‍රැෆික් රාලහාමිට මහඔය පොලීසියෙන් මාංචු

කොළඹ ට්‍රැෆික් රාලහාමිට මහඔය පොලීසියෙන් මාංචු

by mahesh
November 22, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

තලංගමදී සොරාගත් යතුරුපැදියක් අම්පාර මහඔය පිහිටි නිවෙසේ සඟවාගෙන සිටි කොළඹ නාගරික රථවාහන පොලීසියේ සේවයේ නිරත කොස්තාපල්වරයකු මහඔය පොලීසියේ නිලධාරීන් විසින් පෙරේදා (20) අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ නාගරික රථවාහන පොලිස් කොට්ඨාසයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයාගේ මහඔය සමඟිපුර පිහිටි නිවසේ අංක තහඩු ගලවා සඟවා තිබුණු ඩිස්කවරි වර්ගයේ යතුරුපැදියක් මහඔය පොලීසිය විසින් සොයාගනු ලබන්නේ පසුගිය 18 දාය.

මේ යතුරුපැදිය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මහඔය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් නාගරික රථවාහන කොට්ඨාසයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයාගේ නිවෙස පරීක්ෂා කිරීමේදී මේ යතුරුපැදිය සාලයේ නතර කර තිබියදී හමු වී තිබේ. ඒ වන විට යතුරුපැදියේ අංක තහඩු එහි සවිකර තිබී නැත. පොලිස් නිලධාරීන් නිවස පරීක්ෂා කිරීමේදී CP BBT 1154 අංකය දරන යතුරුපැදියේ බව සඳහන් අංක තහඩු දෙක සොයාගැනීමට හැකි වී ඇත්තේ කාමරයක ඇඳ මෙට්ටයක් යට සඟවා තිබියදීය. ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරියාගේ පියාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මේ යතුරුපැදිය සිය පුතා විසින් පංචිකාවත්තේ පුද්ගලයකුගෙන් මෙයට මාස 3කට පෙර රුපියල් 50,000ක මුදලකට මිල දී ගෙන ඇති බවයි. මේ යතුරුපැදියේ පළාත් අක්ෂරය වෙනස් කරගැනීම සඳහා යතුරුපැදියේ ලියාපදිංචි අයිතිකරු පැමිණිය යුතු හෙයින් අංක තහඩු ගලවා තැබූ බවද ප්‍රශ්න කිරීමේදී පොලිස් නිලධාරියාගේ පියා පවසා ඇත. යතුරුපැදියේ ලියාපදිංචි ලියවිලි කිසිවක්ද නිවෙසේ නොතිබුණු බැවින් මහඔය පොලීසියේ නිලධාරීන් යතුරුපැදියේ චැසි අංකය හා එංජික් අංකය ඔස්සේ යතුරුපැදියේ ලියාපදිංචි තොරතුරු මෝටර් රථ ප්‍රවාහන කොමසරිස් කාර්යාලයෙන් පරීක්ෂා කර ලබා තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ එම යතුරු පැදිය UP BDW 8090 අංකය යටතේ ලියාපදිංචි කර ඇති එකක් බවය. එහි ලියාපදිංචි අයිතිකරු මහියංගණය ඌරණියේ පදිංචිකරුවකු බවද අනාවරණය වී තිබේ. ඒ පුද්ගලයා යතුරුපැදිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට පොලීසියට කැඳවා තිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ තමාට අයත් ඒ යතුරුපැදිය මහියංගණය අදාඋල්පතේ පදිංචි සිය ඥාති පුතකුට අලෙවි කළ බවය. ඔහුගෙන් මේ ගැන පොලීසිය ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ 2023 වසරේ නොවැම්බර් 6 දා යතුරුපැදිය සොරා ගැනීමට ලක්වූ බවය. තමා තවාකාලිකය ඒකල පදිංචිව සිටි තලංගම රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි කුළි නිවස ඉදිරිපිට නතරකර තිබියදී සොරා ගැනීමට ලක්ව ඇති බවද ඔහු පොලීසිය පවසා ඇත. මේ ගැන තලංගම පොලීසියට තමා පැමිණිල්ලක්ද කර ඇතැයිද ඔහු පවසා ඇත. ඒ අනුව මෙම යතුරුපැදිය සොරකම් කිරීම, සොරබඩු ළඟ තබාගැනීම හා සොරබඩු බැහැර කිරීම සම්බන්ධයෙන් මෙම නිලධාරියා අත්අඩංගුවටගත් බව පොලීසිය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT