Home » විපක්ෂ නායක පුටුවේ වාඩි වූ ස්වාධීන මන්ත්‍රී නැඟිටින්න කිවුවත් බෑ කියයි

විපක්ෂ නායක පුටුවේ වාඩි වූ ස්වාධීන මන්ත්‍රී නැඟිටින්න කිවුවත් බෑ කියයි

නිලධාරීන් ඇවිත් නැඟිටින්න කිවුවාම ලියල තියෙන තැන පෙන්නන්න කියයි

by mahesh
November 22, 2024 1:00 am 0 comment

විපක්ෂ නායකවරයා වෙනුවෙන් සම්ප්‍රදායිකව වෙන් කරන අසුනේ නවක මන්ත්‍රීවරයෙකු හිඳ ගැනීමත් සමඟ ගැටලුකාරී තත්ත්වයක් පාර්ලිමේන්තුවේදී ඊයේ (21) මතු විය.

ස්වාධීන කණ්ඩායමකින් යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුව ආරම්භ වන අවස්ථාවේදී විපක්ෂ නායක අසුනේ මෙලෙස අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි.

එම අවස්ථාවේ 09 වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකව සිටි සහ 10වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට නම් කර සිටි සජිත් ප්‍රේමදාස මහතාට මේ නිසා විපක්ෂයේ පළමු අසුනේ අසුන් ගැනීමට සිදුව තිබුණි.

එහිදී නව කථානායක පත් කිරීමේ ක්‍රියාවලිය සිදු වූ අතර, අනතුරුව කථානායකවරයා ලෙස පත් වූ ආචාර්ය අශෝක රන්වල මහතා සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ලෙස පිළිගත් බව සභාවට දැනුම් දුන්නේය.

අනතුරුව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව අත්හිටවනු ලැබිණි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 11.30ට රැස්විය.

එම අවස්ථාවේද වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා එම අසුනේ අසුන්ගෙන සිටි අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ 09 වැනි අසුනේ අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි.

මෙහිදී පාර්ලිමේන්තු නිලධාරීන් පැමිණ ඔහුට එම අසුන විපක්ෂ නායකවරයාට වෙන් කර ඇති බව සඳහන් කළ අවස්ථාවේ ඔහුගේ ප්‍රතිචාරය ඔහු විසින් සාමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබූ අතර, එම සංවාදය පහතින් දැක්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා,

එහෙම කොහේවත් ලියලා නෑ. මට හතර පස් පාරක් කියන්න බෑනේ. ඕනි තැනක වාඩි වෙන්න පුළුවන්නේ. ලියලා තියෙනවා නම් පෙන්වන්න මම නැඟිටින්නම්. ඕවා කරන්න බෑ මෙහේ. වෙරි සොරි. පුටු කීයක් තියෙනවාද? වාඩිවෙන්න කියන්න මෙතන. සම්ප්‍රදාය වෙනස් කරන්න තමයි අපි ආවේ. අපි සම්ප්‍රදාය වෙනස් කරලා තියෙන්නේ. එතකොට මුකුත් කරන්න බෑ. මම නැඟිටින්න ඕන හේතුව කියන්නකෝ.

පාර්ලිමේන්තු නිලධාරී – සර් ඔහොම කතා කරන එක වැරදියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා,

වැරදි නෑ. මේක පාර්ලිමේන්තුවනේ. මේකේ කොහේ හරි ලියලා තියෙනවාද මේක විපක්ෂ නායකට කියලා? ලියලා තිබ්බොත් අපි නැඟිටිනවා. පුටු කීයක් තියෙනවාද? ගිහින් වාඩි වෙන්න කියන්න.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT