වඩයක් අනුභව කරමින් සිටියදී කැස්සක් ඇති වී හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අතුරුගිරිය පෝරේ බොරලුගොඩ පාර අංක 294/05 හි පදිංචි අමරසේකරගේ අනුර සම්පත් අමරසේකර නමැති පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු බව පොලීසිය පවසයි.
කැලණිය සරසවියේ කථිකාචාර්යවරියක වන සිය බිරිය හා වෛද්‍ය දියණිය ඇතුළු පවුලේ ඥාතීන් සමඟ ආහාර ගනිමින් සිටියදී සැහැල්ලු ආහාරයක් ගැනීමට බව පවසා වඩේ එකක් ආහාරයට ගනිද්දී එක්වරම කැස්සක් හටගෙන තිබේ. පසුව එම කැස්ස නැවැත්වීම සඳහා විවිධ ප්‍රථමාධාර ලබා දුන්නද එය නොනැවතී ක්‍රමයෙන් අසාත්මිකතාවකට පත්ව තිබේ.
පසුව ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට රැගෙන ගොස් ඇතත් එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි. පසුව තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය එම ස්ථානයට ගොස් ස්ථානීය පරීක්‍ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙසට පොලීසියට නියෝග කළේය.
ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී (21) දා සිදුකිරීමට නියමිතව තිබිණි.