Home » යාචකයා යටකර පලා ගිය ඩිෆෙන්ඩර් රථය සොයා පොලිස් පරීක්ෂණ

යාචකයා යටකර පලා ගිය ඩිෆෙන්ඩර් රථය සොයා පොලිස් පරීක්ෂණ

by mahesh
November 22, 2024 1:00 am 0 comment

නුගේගොඩ සමූහ සමීර අබේසිංහ

මහරගම පොලිස් වසමේ වත්තේගෙදර ප්‍රදේශයේ ගොඩනැඟිලි ද්‍රව්‍ය විකිණීමේ අලෙවි සලක් ඉදිරිපිට පදික වේදිකාවේ පෙරේදා (20) රාත්‍රියේ නිදා සිටි යාචකයකු යටකර දෙපාවලට බරපතළ තුවාල සිදුකර පලා ගිය ඩිෆෙන්ඩර් රථය සොයා පරීක්ෂණ සිදු කරන බවට මහරගම පොලීසියේ රථ වාහන අංශය පවසයි.

මාර්ගය අසබඩ නවතා තිබෙන ඩිෆෙන්ඩර් රථය නැවත මාර්ගයට ගැනීම සඳහා ඒ මේ අත හරවා පිටුපසට ගැනීමේ දී වම්පස ඉදිරි රෝදයට යාචක පුද්ගලයා යට වී ඇති බවත් රෝදයට සහ පොළොවට යාචක පුද්ගලයාගේ කකුල් තද වීමෙන් බරපතළ අයුරින් අස්ථි බිඳී තුවාල සිදුවී ලේ වහනය වෙමින් තිබූ බවත් පොලීසිය පැවසීය.

ඩිෆෙන්ඩර් රථයට පිටුපසින් නවතා තිබූ කාර් රථයක සිටි රියැදුරුවරයකු මෙම අනතුර සිදුවන ආකාරය පිළිබඳ දැක ඩිෆෙන්ඩර් රථයේ රියැදුරුට කිහිපවිටක්ම කෑ ගසා ආමන්ත්‍රණය කළද එයද නොතකා ඩිෆෙන්ඩර් රථයේ රියැදුරු රථය පිටුපසට ගෙන පලා ගිය බැවින් මහරගම පොලිස් ස්ථානයේ දුරකතන අංකයට දැනුමදීමෙන් පසු එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් බරපතළ ලෙස තුවාල සිදු වී සිටි යාචකයා 1990 ගිලන් රථයක් මඟින් ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහල වෙත යැවූ බවත් පොලීසිය තවදුරටත් පැවසීය.

අනතුර සිදුවන ආකාරය අසල වූ වෙළෙඳසලක සවි කොට තිබූ සී.සී.ටී.වී. කැමරාවේ පටිගත වී ඇති බවත් ඉන් ලබා ගත් දර්ශන අනුව ඩිෆෙන්ඩර් රථයේ අංකය හඳුනාගෙන රියැදුරු හා වාහනය අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මෙම අනතුර ඩිෆෙන්ඩර් රථය පැදවූ රියැදුරා හිතා මතා සිදුකර ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මහරගම පොලීසිය ආරම්භ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT