Monday, April 21, 2025
Home » අපරාධ පරීක්ෂණ නිලධාරියකු බව පවසා කෝවිල් පූජකට පහරදී සුද්දකරලා

අපරාධ පරීක්ෂණ නිලධාරියකු බව පවසා කෝවිල් පූජකට පහරදී සුද්දකරලා

by mahesh
November 22, 2024 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු බව පවසා කෝවිල් පූජකට පහරදී ඔහු සතුව තිබූ රුපියල් ලක්‍ෂ 19කට ආසන්න වටිනා මුදල් සහ රන් ආභරණ ඇතුළු දේපළ තොගයක් කොල්ලකෑ පූසාරිවරයෙකු සහ කෝවිල් පූජකයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලීසිය පවසයි.

කොල්ලකන ලද පවුම් 8 -1/4 බර රන් මාල 2ක්, පෙන්ඩන් 2ක්, මුදු 2ක්, කරාබු ජෝඩුවක්, අත්ඔරලෝසුවක් හා ජංගම දුරකතන 2ක් මෙන්ම සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 22ක් පොලිස් භාරයට ගෙන ඇත.

පලෙයි සෙල්වපුරම් පදිංචි 37 හැවිරිදි පැමිණිලිකාර කෝවිල් පූජකවරයාව සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගෙන තිබූ එක් සැකකරුවකු අලුතින් ආරම්භ කරන වෙළෙඳසලක පූජාවක් තැබීම සඳහා යැයි පවසමින් ගෙන්වාගෙන අනෙක් සැකකරු ද සහභාගී කරගෙන මෙම කොල්ලය සිදු කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කෝවිල් පූජකවරයා පලෙයි සිට පිටකොටුව ප්‍රදේශයට ඉකුත් 17 වැනිදා පැමිණීමෙන් අනතුරුව මාලිගාවත්ත බෝධිරාජා මාවත කෝවිලකට රැගෙන ගොස් රැය පහන් කිරීමට පහසුකම් සලසා දී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුදින අලුයම 3.00ට පමණ සැකකරුවන් දෙදෙනාගෙන් අයකු ඔහු නවාතැන් ගෙන සිටි කාමරය වෙත කඩා වැදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු බව පවසමින් එම කාමරයේ තිබූ කාන්තාවන්ගේ යට ඇඳුම් කීපයක් පෙන්වමින් ඔහු කාන්තාවන් ගෙන්වා ගන්නා බවට චෝදනා කර ජංගම දුරකතනයෙන් වීඩියෝකර පහරදී තර්ජනය කර ඔහු සතු රන් ආභරණ ද කොල්ලකා අනතුරුව සන්තකයේ තිබූ බැංකු කාඩ්පතින් බලහත්කාරයෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද ලබාගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙම සිදුවීමෙන් අනතුරුව පැමිණිලිකාර කෝවිල් පූජකවරයා පලෙයි ප්‍රදේශය කරා ගොස් තිබූ අතර ඒ සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරකට අනුව ඔහු ගෙන්වාගෙන පැමිණිලි සටහන් කර ගැනීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

කොල්ල කන ලද රන් ආභරණ සිද්ධිය වූ කෝවිලේ දේව ප්‍රතිමාවක් පිටුපස සඟවා තිබේදී පොලීසිය මඟින් සොයාගෙන ඇත.

කොල්ලකෑ මුදල් සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය සඳහා වැය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වයස අවුරුදු 23 හා 37 අතර පසුවන සැකකාර පූසාරිවරයා සහ කෝවිල් පූජකවරයා බළන්ගොඩ පදිංචිකරුවන්ය.

සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT