හෝමාගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති, කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ උප සභාපති, කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) මාදෝවිට වජිරබුද්ධි නාහිමියන් හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම වෙනුවෙන් හෙට (23) පැවැත්වෙන උපහාර සන්නස් පත්‍ර පිදීමේ උත්සවය නිමිත්තෙන් සැකසුණු ලිපියකි.
ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිවිට මාදෝවිට ග්‍රාමයේ විසූ සාම විනිසුරු එන්. එම්. ගුණසේකර සහ ටී. ඇම්. ලීලාවතී දම්පතීන් යුවළට දාව 1968. 10. 11 වැනි දින පින්වත් පුත් රුවනක් මෙලොව ජන්ම ලාභය ලැබීය. සහෝදරියන් තිදෙනකු සහ එක් සහෝදරයෙක් සමඟ කෙළිදෙලෙන් වැඩුණු මේ කුමරුවා කුඩා කල සිටම ආගම දහමට ළැදි ධර්මානුකූල ශික්ෂණයෙන් යුක්ත වන්නට විය. මාදෝවිට ශ්‍රී විජයාරාම විහාරස්ථානයෙන් අධ්‍යාපනය ලබාගත් මේ කුමරුවා ළමාවියේ මාදෝවිට විද්‍යාලයෙන් සහ මාදෝවිට බෝගහකුඹුර විද්‍යාලයෙන් සිප් සතර හදාරා පසළොස් විය පිරෙද්දී පිරිය යුතු බණ දහම් වත් පිළිවෙත් පූර්ණ කරමින් 1983. 01. 13 වැනි දින පුරාකෘත පුණ්‍ය බල මහිමයෙන් මාදෝවිට වජිරබුද්ධි නමින් උතුම් වූ ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත්ව වැලිමඩ බිබිලගමුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ වැඩ වසන්නට විය.
පසුව 1986 අගභාගයේදී තම ඥාතිවර මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමියන්ගේ ආශීර්වාදයෙන් වජිරබුද්ධි සාමණේර හිමියන් හෝමාගම පුරාණ විහාරස්ථානයට වැඩම කරවන ලදී. එහිදී මූලික පිරිවෙන් අධ්‍යාපනය සඳහා අගලවත්ත බෙල්ලන ධර්ම විද්‍යාලයට සහ ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනට ඇතුළත්වී උගත මනා බණ දහම් ප්‍රගුණ කොට ශාස්ත්‍රීයව දැන උගත් පඬිරුවනක් වන්නට විය.
උපසම්පදා කළ යුතු වයස පූර්ණ වීමෙන් 1990. 06. 29 වැනි දින උන්වහන්සේගේ අධිශීලසම්පන්න උපසම්පදා විනය කර්මය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ රාජමහා විහාර සීමා මාලකයේදී සිදු කරන ලදි. ධර්මධර විනය ධර්මචාරී වූ ආචාර්ය වහන්සේලා නිශ්‍රයාශ්‍රය ලබමින් ශ්‍රේෂ්ඨ ගුරු දේවෝත්මයාණන් වහන්සේලාගෙන් ගුරුහරුකම් ගැනීමට උන්වහන්සේ භාග්‍යවන්ත වූහ. ඌව මහා දිසාවේ උප ප්‍රධාන සංඝනායක සාහිත්‍යාචාර්ය පණ්ඩිත රත්කරව්වේ මේධානන්ද නාහිමි, හෝමාගම පුරාණ විහාරාධිපති සිනාදී සිවු කෝරළයේ ප්‍රධාන සංඝනායක මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමි, කලටුවාවත්ත පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පෝරේ සුමනසිරි නාහිමි, පෝරේ ශ්‍රී මහා විහාරාධිපති රුක්මලේ ධම්මකිත්ති නාහිමි වැනි වියත් බහුශ්‍රැත යතිවරයාණන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් අවවාද අනුශාසනා මඟපෙන්වීම හා ආශිර්වාදය හිමි වන්නට විය.
පැවිදි ජීවිතය ශෝභාමත් කරමින් ද අධ්‍යාපන කටයුතු ද සාර්ථකව ඉටුකරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ද, කැලණි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ගත් උන්වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨ පශ්චාත් උපාධිය අධ්‍යාපන ඩිප්ලෝමාව ද ගත්තේය.
1998දී පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙහි උප ගුරුවරයකු වශයෙන් සේවයට බැඳුණු උන්වහන්සේ 2000දී එම පිරිවනෙහි නියෝජ්‍ය පරිවේණාධිපති ධුරයට පත්විය. අනතුරුව 2010 වසරේ සිට සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) ධුරය දරමින් එතැන් සිට ඌව පළාත, අම්පාර, ගම්පහ, ගාල්ල, කොළඹ ආදී විවිධ පළාත්වල පිරිවෙන් රාජකාරී කටයුතු ඉටු කරන ලදි.
සංඝ ශෝභන ගුණ සමුදායෙන් සමුපේතව උන්වහන්සේ 1986 සිට මේ දක්වා වසර 38ක පමණ කාලයක් හෝමාගම පුරාණ විහාරස්ථානයේ වැඩ වසමින් මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමියන් අනුදත් යුග මෙහෙවර ඉදිරියට ගෙන යමින් සතරපේරුවේ දායකකාරාදීන්ගේ ගෞරව ප්‍රසාදය ගනිමින් සිදු කරන ලද විහාර සංවර්ධනය හා ශාසනික මෙහෙවර ගෞරව සම්ප්‍රයුක්තව සිහිපත් කරමු. හෝමාගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, හෝමාගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති, කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ කාරක සංඝ සභික, ධර්මපාල පරෝපකාර සමිතියේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ජාතික මණ්ඩල සභික හා කොළඹ දිස්ත්‍රික් සභාපති පුරාණ විහාරස්ථ සමාජ සංවර්ධන පදනමේ සභාපති වැනි තනතුරු ගණනාවක් හොබවමින් සිදු කරන්නා වූ ආගමික, ශාසනික, සංස්කෘතික හා සමාජයීය අමිල යුග මෙහෙවර හා උභය ලෝකාර්ථ චර්යාව ප්‍රශංසනීය වේ.
අති උදාර ගුණයෙන් සුපෝෂිත උන්වහන්සේ විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වශයෙන් සාධුජන ප්‍රසාදය ගනිමින් ගුවන්විදුලියේ සහ රූපවාහිනී නාළිකාවල සුමධුර ධර්ම දේශනා සිදු කරන්නේ ජන මනස සද්ධර්ම ස්පර්ශයෙන් ආහ්ලාදනය කිරීමේ අධ්‍යාෂයෙනි. ගම්වාසී, ප්‍රදේශවාසී, ගෘහස්ථ ප්‍රව්‍රජිත උභය පාර්ශ්වයන්හි දායකකාරාදීන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ ශීලවෘද්ධ, ගුණවෘද්ධ, තපෝ වෘද්ධ යතිවරයාණන් වහන්සේ නමකි. පුවත්පත්, ධර්ම ග්‍රන්ථ, සඟරා, ශාස්ත්‍රීය කෘති සඳහා තම කෘතහස්ත ලේඛන කලාව යොමු කරමින් සාරගර්භ වූ ලිපි පළ කරමින් තම ව්‍යාප්ත විශාරද බහුශ්‍රැත බව පෙන්නුම් කර ඇත්තේ සබුද්ධික පාඨක සිත් සතන් චිත්තාකර්ෂණය කරමිනි.
අධ්‍යාපනික මෙන්ම ධර්ම ගවේෂණ සඳහා වැඩමුළු සම්මන්ත්‍රණ, දේශන ධර්ම ප්‍රචාරක කටයුතුවලට සහභාගී වීමට ඉන්දියාව, තායිලන්තය, බුරුමය, මැලේසියාව, තායිවානය, ජපානය, සිංගප්පූරුව, අමෙරිකාව, කොරියාව, මැදපෙරදිග, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්විස්ටර්ලන්තය ආදී විවිධ රටවල සංචාරය කර ඇති වජිරබුද්ධි මාහිමිපාණන් වහන්සේ අවිච්ඡින්නව සඟ සසුන ශෝභාවත් කළ භික්ෂු පරපුරකින් පැවතෙමින් පුරාණ විහාරස්ථ පුණ්‍යභූමියේ අභිවෘද්ධිය වර්ධනය ද සිව්වනක් පිරිස යහමඟෙහි අවතීර්ණ කරමින් ද අගති විරහිත ශ්‍රමණ ආකල්පවලින් යුතුව ඉෂ්ට සිද්ධ කරගන්නා වූ පුද්ගලාභිවෘද්ධිය මෙන්ම විහාරස්ථානයේ ශීල භාවනා වැඩසටහන් තුළින් බෞද්ධ ජනතාවගේ සිත් තුළ ආධ්‍යාත්මික දියුණුව ඇති කරලීමට ද ගන්නා ශාසනික මෙහෙවර ප්‍රශංසාර්ය වේ.
ජාතික, ආගමික, සමාජයීය පරහිත සාධන සද්ව්‍යාපාර ගෞරවාන්විතයට ප්‍රමෝදය පළ කරමින් භික්ෂු චර්යාවේ සාම්ප්‍රදායික උරුමයන් හා වගකීම්වලට අනුගතව සුසමාදර්ශී භික්ෂු පරපුරක් බිහි කරලීමෙන් අනතිමානීව අධිෂ්ඨානශීලීව සිදු කරන්නාවූ සුවිශේෂී වූ අමිල මෙහෙය වන්දනීයව සිහිපත් කරමින් හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක ලෙස පදවි ප්‍රාප්තියට පත් අති ගෞරවාන්විත මාදෝවිට වජිරබුද්ධි මාහිමිපාණන් වහන්සේට සසුන් කෙත තවදුරටත් බැබළවීමට සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය හෙට (23) පස්වරු 2.30ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ මංගල උපෝසථාගාරයේ දී කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරන්දර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති දර්ශනශූරී අග්ගමහා පණ්ඩිත ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමිපාණන් වහන්සේ විසින් පිරිනැමෙනු ඇත. උන්වහන්සේට නිදුක් නීරෝගි චිරජීවනය ලැබේවා.
ශාස්ත්‍රපති ඌව කොස්ගම
විනීතජීව හිමි