Home » ඔබ අතේ… කිරිච්චියක් තිබේ!

ඔබ අතේ… කිරිච්චියක් තිබේ!

by mahesh
November 22, 2024 1:00 am 0 comment

රන්ජන් අමරරත්න

ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් යනු කොයි අතින් බැලූවද පෙරළිකාර චරිතයකි. එමෙන්ම ඔහු ආඩම්බරකාර මුරණ්ඩු තැනැත්තකු ලෙස ද ප්‍රකටය. ලොව බලවත්ම රාජ්‍යයේ නායකයා හැටියට ලබන ජනවාරියේදී දිවුරුම් දීමට නියමිත ට්‍රම්ප් මේ දිනවල ලෝකයේ වැඩි අවධානයකට ලක්වන ආන්දෝලනාත්මක නායකයකු බවට පත්වන්නේ ඔහු ස්වකීය කාර්ය මණ්ඩලය සඳහා තෝරාගනු ලබන පෙරළිකාර චරිත නිසාය. ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධරයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සාර්ථක ව්‍යාපාරිකයකු හා සමාගම්කාරයකු ලෙස ද ප්‍රකටයි. ට්‍රම්ප් පෙන්වා දෙන අන්දමට ලෝකය පවතින්නේ ගනුදෙනු මතය. නීතිය පවා ගනුදෙනුවක් බව ඔහු පෙන්වා දෙයි. අමෙරිකාවේ අමාත්‍යවරුන් නැත. ඒ වෙනුවට රාජකාරි භාරගන්නේ ලේකම්වරුන්ය. අමෙරිකාවේ වැදගත්ම හා බලවත්ම තනතුරු කිහිපයක් මේ මොහොතේ අප සිහියට නැ‍ඟෙයි.

(I) ආරක්ෂක ලේකම් ධුරය

(II) විදේශ කටයුතු පිළිබඳ ලේකම් ධුරය

(III) ආර්ථික කටයුතු පිළිබඳ ලේකම් ධුරය

(IV) ධවල මන්දිරයේ ප්‍රවෘත්ති ලේකම් හෙවත් ජනාධිපතිවරයාගේ නිල ප්‍රකාශකයා

අමෙරිකන් රාජ්‍යයේ වර්තමානය හා අනාගතය තීන්දු කරන ප්‍රධාන බල කඳවුරු හතර ලෙස ද එම තනතුරු හතර දැක්විය හැකිය. ධවල මන්දිර ප්‍රකාශක හැටියට සේම ආණ්ඩුවේ නව ප්‍රකාශකයා හැටියට ද පත් කර ඇත්තේ විසිහත් හැවිරිදි කැරොලයින් නම් තරුණියකි. මේ පත්කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචන හා විරෝධතා එල්ල වී තිබුණ ද, ට්‍රම්ප් ඒ කිසිවක් මායිම් කරන්නේ නැත. ඔහු සිය ලේකම්වරියට කියා ඇත්තේ “ඔබ තමයි හොඳම මාධ්‍ය ලේකම්” යන්නය. එය වෙනස් කළ හැකි ජගතෙක් මේ ලෝකය තුළ නැත.

ජනමාධ්‍ය හා සන්නිවේදනය සම්බන්ධයෙන් පවතින හැඳින්වීම් හෙවත් නිර්වචන කිහිපයක් මේ මොහොතේ අප සිහියට නැ‍ඟෙන්නේ ආයාසයකින් තොරවය.

(I) සන්නිවේදනයෙන් තොර ජීවිතයක් නැත්තේය. අදහස් හුවමාරුව හා දැනුම්වත්වීම යනු ජීවිතයේ ප්‍රාණයට සරිය.

(II) ජනමාධ්‍ය යනු දෙපැත්ත කැපෙන සියුම් ආයුධයකි. එය පරෙස්සමෙන් හා අවබෝධයෙන් භාවිත කළ යුතුය.

(III)රටක ඉදිරි ගමන හා පැවැත්ම රැඳී ඇත්තේ සන්නිවේදනය මතය.

අමෙරිකා එක්සත් ජනපදය සලකනු ලබන්නේ වඩාත් නිදහස් හා ශක්තිමත් ජනමාධ්‍ය සම්ප්‍රදායයක් පවතින ලිබරල් චින්තනයට මුල්තැන දී ඇති ලොව ධනවත්ම හා ලොව බලවත්ම රාජ්‍යය හැටියටයි. 19 සියවසේ අගභාගය වනවිට ඩෙන්මාර්කය හඳුන්වන ලද්දේ පුවත්පත් කියවන අපූරු රාජ්‍යය හැටියටය. එකල වඩාත් විධිමත් හා ශක්තිමත් පත්තර කලාව පැවැතියේ යුරෝපය තුළය. යුරෝපය ලෝක පුවත්පත් කලාවේ පරමාදර්ශය වූයේය. කුමක් වුව අද වනවිට සෑම රටකම ජනමාධ්‍ය පුළුල්ය. එලෙසම වඩාත් බලපෑම්සහගතය. එබැවින් ඒවා හසුරවනු ලබන චරිතවලට විශේෂ ආකර්ෂණයක්, බලයක් හා ගෞරවයක් ඇත්තේය. ඒ අතින් බලනවිට ධවල මන්දිරයේ ප්‍රවෘත්ති ලේකම්වරිය යනු අතිශය වාසනාවන්ත පත්වීමක් වන්නේය. බාලවයස්කාරියකට එවැන්නක් ලැබීම තවත් පැතිකඩ කිහිපයකින්ම කැපී පෙනෙන තත්ත්වයකි.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙන් ඩිප්ලෝමාවක්, උසස් ඩිප්ලෝමාවක්, උපාධියක් හදාරන විද්‍යාර්ථියා විශේෂයෙන් සිය අවධානය යොමු කරන විෂය ක්ෂේත්‍ර කිහිපයක් තිබේ.

(I) ජනමාධ්‍ය නීතිය

(II) ජනමාධ්‍ය ආචාරධර්ම

(III) පාර්ලිමේන්තු පත්තර කලාව

(IV) ජනමාධ්‍ය නිදහස

(V) සංවර්ධන සන්නිවේදනය

(VI) සන්නිවේදනය හා විනෝදාස්වාද කලාව

ඒ අතරින් ප්‍රධාන යැයි කිව හැකිය. අතීතයේ කිසියම් ජාතියක, රටක හෝ කිසියම් ජන සමාජයක අයිතිවාසිකම්, යුතුකම්, අරමුණු යනාදිය වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා කළ ජනමාධ්‍ය අද වනවිට දැවැන්ත කර්මාන්තයක් බවට පෙරළී ඇත. ජනමාධ්‍ය ආයතනයක් යනු ලාභ ලබන, බලපෑම්කාරී ව්‍යාපාරික ස්ථානයක් බවට පත් වී ඇත. එහිලා ආකාර තුනක ජනමාධ්‍ය ආයතන දකින්නට ලැබේ.

(I) රාජ්‍ය මාධ්‍ය

(II) පෞද්ගලික ජනමාධ්‍ය ආයතන

(III) ඒකාබද්ධ සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන හා සමුපකාර ආයතන වැනි සාමූහිකයන් විසින් පවත්වාගෙන යනු ලබන ජනමාධ්‍ය

අද මේ සියල්ල අබිබවා සමාජ මාධ්‍ය පෙරට පැමිණ ඇත. ඒ අනුව සමස්ත ලෝකයම අපගේ දෑතෙහි රැඳී ඇත. මේ අතින් බලනවිට අප ජීවත්වන්නේ අලුත් හා පුදුමාකාර ලෝකයකය. එහිලා ජනමාධ්‍ය ආයතනවලට හා ජනමාධ්‍යකරුවාට ලැබෙන්නේ ප්‍රධාන භූමිකාවක බලතල ය.

බරපතළ හැදෑරීම් සහිත මහා ප්‍රාඥයකු නොවන්නේ වුව ව්‍යවහාරික ඥානය අතින් අංක එකේ ත්‍රස්ත නායකයකු හැටියට ප්‍රකටව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් වරෙක කියා සිටියේ ශ්‍රී ලංකාවේ සමාජයෙන් 75%ක්ම ජනමාධ්‍ය සමාජයට අයත් බවය. එහි අර්ථය වන්නේ අපේ සමාජයෙන් බහුතරය (එනම්; හතරෙන් තුනක්ම ජනමාධ්‍යයෙන් ලබාදෙන පණිවිඩ ඔස්සේ තමන්ගේ තීන්දු – තීරණ ගනු ලබන බවයි. කිසිවකුට සමාජය වෙනස් කිරීමේ අභිලාෂයක් ඇතොත්; ඔහු පළමුව කළ යුත්තේ ජනමාධ්‍යයේ පිහිට පැතීම බව ඉන් කියැවේ. ශ්‍රී ලංකාව වැනි රටවල පමණක් නොව; ලොව බලවත්ම හා ධනවත්ම රටවල තත්ත්වය ද ඊට වෙනස් නැත. දේශපාලනයේදී එය අතිශය තීරණාත්මක බලවේගයක් බවට පත්ව තිබේ. නායකයන් පත් කරනු ලබන්නේ ජනමාධ්‍යය යි. ඔවුන් බලයෙන් පහකරනු ලබන්නේ ද ජනමාධ්‍යයයි. මේ තත්ත්වය මත දේශපාලකයාට වැදගත් වන ප්‍රධාන සාධකය ජනමාධ්‍යය යැයි කිවහොත්; එය පහසුවෙන් බිඳ දැමිය හැකි තර්කයක් නොවේ.

වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ගෝලයෝ රැසක් ලන්ඩනයේ සිට අන්තර්ජාතික ජනමාධ්‍ය කටයුතුවලට හවුල් වූහ. “ටැමිල් ටයිම්ස්” (Tamil Times) එකල ඔවුන් විසින් සම්පාදනය කරන ලද ප්‍රකට සඟරාවකි. එය ලොව පුරා ජාලයක් ඔස්සේ අලෙවි කරනු ලැබූ අතර ලන්ඩනයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන අඛණ්ඩව කියවාගත් පිරිසක් සිටියහ. කොටි සංවිධානය ගැන වැඩිපුර තොරතුරු අවශ්‍ය අය මෙන්ම ඔවුන්ගේ මතවාද අනුමත කළ අය ද “ටැමිල් ටයිම්ස්” සඟරාව අනිවාර්යයෙන් පරිහරණය කළහ.

අමෙරිකාවේ ධවල මන්දිර ප්‍රවෘත්ති ලේකම් ධුරය යනු ලෝකයට අතිශය වැදගත් බරපතළ තනතුරක්. ලෝක ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට හා පරිණත පුද්ගලයන් සිටිය දී කැරොලයින් වැනි අත්දැකීම් අඩු, පරිචයක් නැති ළාබාල තරුණියකට මේ තනතුර භාර දුන්නේ ඇයිදැ’යි බොහෝ දෙනෙක් ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න කළහ. ඔහුගේ පිළිතුර වූයේ; එතරම් විශ්වාසවන්ත, කාර්යක්ෂම හා අවංක තැනැත්තියක කොහෙන්වත් සොයාගත නොහැකි බවය. තමන්ගේ ඡන්ද කටයුතු මැනැවින් හසුරුවා ගැනීමට ඇයගේ මාර්ගෝපදේශ හා මැදිහත්වීම වැඩියෙන්ම බලපෑ බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පැහැදිලි කර දී ඇත.

“කැරොලයින් ලෙවිට්” ජනමාධ්‍ය ලේකම්වරිය පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා සිය ඡන්දයේදී භාවිත කළ සටන් පාඨය තුළ අමෙරිකාව ගොඩනැඟිය හැකි සියල්ල රැඳී ඇති බවය.

“Make America

Great America Again!”

කැරොලයින් පෙන්වා දෙන අන්දමට ඒ වනාහී ආර්ථිකය මූලික කරගත් සටන් පාඨයකි. එහෙත් එහි හරය වන්නේ මුළු මහත් අමෙරිකාවම එක මිටට ගෙන ඉදිරියට තල්ලු කිරීමේ හැකියාවක් හා විභවතාවක් ඊට හිමි වී තිබීම ය.

‍ඩොනල්ඩ් ට්‍රම්ප් ආමන්ත්‍රණය කරන්නේ සමන්ත අමෙරිකාවට හා මුළු ලෝකයටමය. ට්‍රම්ප්ගේ අභිලාෂයන් ඒ ඔස්සේ වටහාගත හැකිය. ලෝක බලවතා හෙවත් අමෙරිකාව මුහුණදෙන බරපතළ ගැටලු කිහිපයක් පෙන්වා දිය යුතුය.

(I) ලෝක යුද්ධ නැවැත්වීම

(II) එක්සත් ජාතීන්ගේ සංවිධානය බලවත් කිරීම නැතහොත් නව ජගත් සංවිධානයක් පිහිටුවීම

(III) කාලගුණික විපර්යාසවලට සාර්ථක විසඳුමක් වෙත යොමුවීම

(IV) ලෝක ආහාර නිෂ්පාදනය වැඩි කිරීම හා දිළිඳුකම පිටුදැකීමට පියවර ගැනීම

(V) අමෙරිකන් ආර්ථිකය ශක්තිමත් කිරීම, රැකියා සම්පාදනය වැඩි කිරීම, උද්ධමනය පහළට ගෙන ඒම

මේවා සම්බන්ධයෙන් සාධනීය වැඩපිළිවෙළකට ‍ඩොනල්ඩ් ට්‍රම්ප් යා යුතුය. එහිදී බරපතළ වැඩ කොටසක් කැරොලයින් වෙත පැවරෙනු ඇත. ජනමාධ්‍ය හැමවිටම අංක එකට වැදගත් බවද, එය හසුරවන්නා ආර්ථිකයට, දේශපාලනයට පමණක් නොව; සමස්තයටම ප්‍රධාන වන බවත් කිව යුතුය.

ශ්‍රී ලංකාවේ අභිනව ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වන්නේ වෛද්‍ය නලින් ජයතිස්ස මහතාය. ඔහු සිය රාජකාරි ආරම්භ කරමින් වැදගත් පණිවිඩ කිහිපයක් ලබා දී ඇත.

(I)ජනමාධ්‍යවලට බලපෑමක් නැත. එහෙත් ඊට කොන්දේසි විරහිත නිදහසක් ද නැත.

(II) නිදහස හා සදාචාරය වගවීමකින් යුතුව භාවිත කළ යුතුය

(III) ජනමාධ්‍ය පවතින්නේ දේශපාලකයන්ට පොරපිටි තැනීමටවත්, ඔවුන් තරු බවට පත් කිරීමටවත් නොවේ.

(IV) ජාතියේ අභියෝග හා අනාගතය සැලකිල්ලට ගනිමින් වැදගත් හා ශීලාචාර ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීමට දායක වෙමු.

ඉහත සඳහන් කරුණු හතර අමෙරිකාවේ කැරොලයින්ට වුව අතිශයින්ම වැදගත් වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT