සබරගමු පළාත් අන්තර් කලායතන නර්තන හා සංගීත තරගාවලිය නොවැම්බර් මස 03 දා රත්නපුර සුමන බාලිකාවේදී පැවැත්විණි. විවෘත සරල ගී සමූහ ගායනා පිරිමි සහ කාන්තා අංශ දෙකෙහි රත්නපුර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ නේරංජන් පැලවත්ත සංගීත තක්සලාවයි. මෙය සංවිධානය කළේ සබරගමු පළාත් සභා සංස්කෘතික අමාත්‍යාංශය හා සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවයි.
පාස්පෝට් දින 50 පසුකරයි
ක්‍රිස් අන්තනී අධ්‍යකෂණය කළ කඳුකරයේ තරුණයන් දෙදෙනෙක් වන අමරේ සහ සමන් යුරෝපයට යාමේ සිහිනය සැබෑ කරගැනීම සඳහා විවිධාකාර ක්‍රම මඟින් උත්සාහ දැරීමත් උත්සාහය ඵලයක් දක්වා දිවෙන්නක්ද යන්න තේමා කොට ගත් පාස්පෝට් සිනමා සිත්තම දින 50ක් පසු කොට හමාරය. දුෂ්කර ඉතාලි ගමනේ ඔබේත් මගේත් කතාව වශයෙන් හදුන්වන මෙය දැන් දිවයින පුරා සිනමාහල් වල ප්‍රදර්ශනය කෙරේ.
සෝලෝ ටවුන් විශේෂ මාධ්‍ය දර්ශනයක්
සෝලෝ ටවුන් සිනමා පටයේ විශේෂ මාධ්‍ය දර්ශනයක් ඊයේ කොළඹ සිටි සෙන්ටර්හි ප. ව 4.00 ට scope cinema හලේදී පැවැත්විණි. සෝලෝ ටවුන් චතුරංගන ද සිල්වා විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි.
පිරිමි ආදරයක් අද සිට රිදී තිරයට
එරංග සේනාරත්නගේ නවතම අධ්‍යක්ෂණයක් සහ සුරේන් පෙරේරාගේ නිෂ්පාදනයක් වන ‘පිරිමි ආදරයක්’ සිනමා පටය අද (22) සිට දිවයින පුරා සිනමා ශාලාවල දී තිරගතවීම ඇරැඹේ. මේනක රාජපක්ෂ, හිරුණි රණසිංහ, රුවන් පෙරේරා, සුසංග කහඳවආරච්චි, නෙතලි නානායක්කාර, සැනට් දික්කුඹුර, මෙත්තානන්ද විතාන, සරත් කුමාර, අජිත් ප්‍රනාන්දු මෙහි රංගනයෙන් එක්වෙති.
තිර රචනය සහ දෙබස් ඩිනාලී රොෂාන්ති සේනාරත්න ගෙන්වන අතර කැමරා අධ්‍යක්ෂණය උපුල් ප්‍රියාන්, සංස්කරණය දසුන් රණසිංහ, විධායක නිෂ්පාදනය ඩිලාන් ජගත්, වර්ණ සංයෝජනය සහන් අල්විස්, එම්.එම් තනුජ්, අංග රචනය ළහිරු නිශාන් ධනුෂ්ක, කලා අධ්‍යක්ෂණය සුරංග ප්‍රදීප්, නර්තන නිර්මාණය සංඛ ප්‍රසාද්ගෙනි.
සඳුදා වැටෙන්නේ සිකුරාදාට දර්ශනවාර 2ක් හෙට
චාලක රණසූරිය නාට්‍යය නිර්මාණයක් වන දිලූපා නිරෝෂණී අල්විස් නිෂ්පාදනය කරන ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ වේදිකා නාට්‍යය හෙට (23)දර්ශන වාර දෙකක් කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී වේදිකාගත කෙරේ.
MPI මණ්ඩලයට කළමනාකාර අධ්‍යක්ෂ ධුර දෙකක්

එන්. උදයකුමාර් සහ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු
මෙරට කීර්තිමත් සිනමා මණ්ඩලයක් වන MPI මණ්ඩලයෙහි වසර දහයකට අධික කාලයක් MPI මණ්ඩලයේ කොටස් හිමියකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු සහ එන්. උදයකුමාර් යන මහත්වරු එහි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට පත්කොට තිබේ.
ජාතික චිත්‍රපට සංස්ථාව සතු ‘රිත්මා’ මණ්ඩලය සහ පෞද්ගලික අංශය සතුව MPI, EAP, LFD සහ CEL ලෙස මෙරට සිනමා මණ්ඩල පහක් පවතියි. ඉන් MPI මණ්ඩලයේ වසර 10ක් සහ EAP මණ්ඩලයේ වසරක සේවා කාලයක් සම්පූර්ණ කළ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා සිය නව කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට පත්වී මෙසේ පැවසීය. “MPI මණ්ඩලයේ දියුණුව සහ නව තාක්ෂණය සහ සම්පත් යොදා ගනිමින් සිනමා ශාලා යළි ආරම්භ කිරීම සහ කාර්යාල පරිශ්‍රය වැඩිදියුණු කිරීම මගේ බලාපොරොත්තුවයි.. ”
ශ්‍රී ලංකාවේ කෙටිම කාලයක් තුළ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් නිෂ්පාදනය කළ නිෂ්පාදකවරයා වශයෙන් ද අරෝෂ ප්‍රනාන්දු ආචාර්යවරයා නම් කොට ඇත. ඒ අනුව ඔහු රුසියානු නවකතාවක් ඇසුරින් නිපදවූ ගුරු ගීතය සිනමා පටය ඉතා නුදුරේදීම මෙරට සිනමා රසිකයන්ට නැරඹීමට ප්‍රදර්ශනය කිරීමට අදහස් කරයි.
ජයසිරි මුණසිංහ
මිසි නෝනා
2024 රාජ්‍ය නාට්‍ය උළෙල පසුගිය 18 වැනිදා සිට එළැඹෙන 05 වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වේ. සෑම දිනකම පස්වරු 4.00ට නාට්‍යයක් වේදිකාගත කෙරේ. වේදිකාවට ආදරය කරන සියලු දෙනාට එදින වේදිකාගත වන නාට්‍යය නැරඹීමේ පහසුකම් සලසා ඇත.
සංගීතමය ළමා නාට්‍යයක් අනිද්දා
චාමර හපංගමගේ සංගීතමය නාට්‍ය අධ්‍යක්ෂණයෙන් යුතු සුරේෂ් මදුශාන් පිටපත් රචනය කළ සංගීතමය ළමා නාට්‍යය අනිද්දා(24) බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී වේදිකාගත කෙරේ. පාසල් දරුවන් විසි දෙනෙකු සමඟ ජනප්‍රිය රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ගේ සහභාගිත්වයෙන් නවතම ළමා ගීත 22ක් සමඟ මෙම වේදිකා නාට්‍යය පස්වරු 03.30ට හා පස්වරු 6.45ට වේදිකාගත කෙරේ.
රුක්මණී අනුස්මරණ ප්‍රසංගයට ගායන වරම්!
සිංහල සිනමාවේ අග රැජිනිය හා ප්‍රථම චිත්‍රපට පසුබිම් ගායිකාව වූ රක්මණී දේවියගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන ගීත ප්‍රසංගය සඳහා ගී ගැයීමට කැමති ආධුනික තරුණ සහ වැඩිහිටි ඕනෑම අයෙකුට මෙම මස අවසානයට පෙර ඊ.ජී.ඒ.චිත්‍රාකාන්ති, 102, 45/A, සොලමන් මාවත, පානදුර යන ලිපිනයට අයදුම්පත් යොමු කළ හැකිය.
බඹරු 23දා ජා ඇළට
වසර ගණනාවක් පුරා ජනතාවගේ ගායකයා ලෙස සම්මානිත වූ චාමර වීරසිංහ, තරුණ පරපුරේ ආදරය දිනාගත් වස්ති, ජය ශ්‍රී, සෙන්ටිග්‍රේඩ්ස් සංගීතයට ගී ගයන ‘බඹරු ඇවිත්’ සංගීත ප්‍රසංගය මෙම 23 දා රාත්‍රී 8.00 සිට ජා – ඇළ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ප්‍රවීන නිවේදක සුමිරාන් ගුණසේකරගේ කථනයෙන් හැඩ වැඩ වන ‘බඹරු ඇවිත්’ ප්‍රසංගයට සමගාමිව විවිධ විනෝදාත්මක ක්‍රියාකාරකම් සහ ආහාර සැණකෙළි ආදියද පැවැත්වෙන බව සංවිධායක ‘වි4 ප්‍රඩක්ෂන්’ ආයතනය දිනමිණට පැවසීය.