Home » ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාවත්

ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාවත්

by chanaka
November 22, 2024 4:30 pm 0 comment

ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව තේරී පත් වේ.

2024 නොවැම්බර් 20 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට තෝරා පත් කරගනු ලැබූ සාමාජිකයින් තිස් එක අතර ශ්‍රී ලංකාවද විය.

ආසියා පැසිෆික් කණ්ඩායමෙන් ආසනයක් සඳහා තරඟ කළ ශ්‍රී ලංකාව, ඡන්ද එකසිය හැත්තෑ හතක් ලබා ගැනීමට සමත් වුණි. මෙම ඡන්ද සංඛ්‍යාව, කණ්ඩායම තුළ දෙවැනි වැඩිම ඡන්ද සංඛ්‍යාව වූ අතර තේරී පත් වූ සාමාජිකයන් තිස් එක් දෙනා අතරින් සමස්තයක් ලෙස දෙවැනි වැඩිම ඡන්ද සංඛ්‍යාව විය.

ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ආසියා පැසිෆික් සමූහයෙන් තේරී පත් වූ අනෙකුත් සාමාජික රටවල් වන්නේ මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, වියට්නාමය, චීනය, ජපානය සහ කොරියානු ජනරජයයි.

ශ්‍රී ලංකාව 2025 ජනවාරි මාසයේ සිට වසර හයක කාලයක් මෙහි සේවය කරනු ඇත.

1966 වසරේදී පිහිටුවන ලද සහ වියානා අගනුවර මූලස්ථානය පිහිටා ඇති ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම, ජාත්‍යන්තර වෙළෙඳ ක්ෂේත්‍රයේ මූලික නීතිමය ආයතනයයි. වෙ‍ළෙඳාමට ඇති බාධා ඉවත් කිරීම සහ වෙ‍ළෙඳ නීති සුසංගත කිරීම මෙම කොමිසමේ විෂය පථයට ඇතුළත් වේ.

ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම, සාමාජික රටවලට තාක්ෂණික සහායද සපයයි. ශ්‍රී ලංකා බේරුම්කරණ පනත සහ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත වැනි වෙ‍ළෙදාම සහ ආයෝජන සඳහා පහසුකම් සැලසීම පිණිස වන ශ්‍රී ලංකාවේ නීති, ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමෙහි ආදර්ශ නීතිවලින් ප්‍රතිලාභ ලබා ඇත.

ශ්‍රී ලංකාව මීට පෙර ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමෙහි සාමාජිකයෙකු ලෙස 2004 සිට 2007 සහ 2016 සිට 2022 දක්වා සේවය කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT