ක්‍රීඩා අමාත්‍යාංශයේ රුපියල් මිලියන 39කට අධික මුදලක් 2015 වසරේදී අවභාවිත කළ බවට එවකට වෙළෙඳ අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුවල නීතිපති උපදෙස් සඳහා ලබන අප්‍රේල් මස 23දා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (20) නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැතැයි අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව නීතිපතිවරයාට සිහි කැඳවීමක් නිකුත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය නඩුව ඉදිරි දින දක්වා කල් තබන ලෙසද නියෝග කළාය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම නඩුව වසර 2015 දී පවරා ඇති අතර නඩුවේ තවත් විත්තිකරුවෙක් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා, ඇතුළු තිදෙනා අධිකරණයේ පෙනී සිටියහ.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය කර කැරම් බෝඩ් දහසක් සහ දාම් බෝඩ් දහසක් මිලදීගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා කාර්යාලවලට ක්‍රීඩා උපකරණ ලබා දී ඇති බවට මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු සතොස සභාපති කර්මාන්ත ඇමැති නලින් රුවන්ජීව ප්‍රනාන්දු, චමින්ද හර්ෂජිත් යන අයට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය චෝදනා ගොනු කර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර ඉදිරි නඩු දින අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළාය.