අත්තනගල්ල අධ්‍යාපන කොට්ඨාසය තුළ පිහිටි රජයේ පාසල් 56ක සිසු – ගුරු සිය ගණනකගේ චිත්‍ර ප්‍රදර්ශනයක් සහ තෝරා ගත් චිත්‍ර සඳහා සිසු – ගුරු සිය දෙනකුට සහතික පත්‍ර සහ තිළිණ ප්රදානය කිරීමේ උළෙලක් නිට්ටඹුව රන්පොකුණගම මහා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී ඊයේ (20) පැවැත්විණ.
‘සියනෑ රූ රටා’ ලෙස නම් කර තිබූ මෙම චිත්‍ර ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ගම්පහ අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පාසල් පරිපාලන) අජිත් විජයසුන්දර මහතා සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා හිමාලි රණසිංහ මහත්මිය සහභාගී වූහ. ප්‍රදර්ශනය සඳහා චිත්‍ර 600ක පමණ ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ තුරින් තෝරාගත් හොඳම නිර්මාණ 100ක් සදහා සිසු – ගුරු සිය දෙනකුට සහතික පත්‍ර සහ තිළිණ ප්රදානය කෙරිණ.
සිසු සිසුවියන්ගේ කලා කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ගම්පහ අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා (සෞන්දර්ය) චමිල්කා අතපත්තු මහත්මියගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ගම්පහ අධ්‍යාපන කලාපයේ චිත්‍ර ගුරු උපදේශකවරුන් වන නිශා බටගොඩ (අත්තනගල්ල), ගංගානි එදිරිසිංහ (දොම්පේ), නිශාන්ත රෝහණ කුමාර (ගම්පහ) යන මහත්ම මහත්මීන් පාසල් 56 චිත්‍ර ගුරුවරුන්ගේ ද සහයෝගය මත මෙම ප්‍රදර්ශනය හා තිළිණ ප්රදානය සංවිධානය කර තිබුණි.