වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයක නිදන් වස්තු සෙවීම සඳහා කැණීම් කළ බව කියන චීවරධාරියකු ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු තවදුරටත් දෙසැම්බර් මස 03 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (19) පස්වරුවේ නියෝග කළේය.
වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ විහාරස්ථානයක් ආසන්නයේ මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයක පුරාවස්තු සෙවීම සඳහා කැණීම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධව වේයන්ගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වා සැකකරුවන් නවදෙනා අත්අඩංගුවට ගෙන තිබිණ.
එසේ රිමාන්ඩ් කරන ලද චීවරධාරියා එම ප්‍රදේශයේම වන අතර අනෙක් සැකකරුවෝ දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයෝ වෙති.
මොවුන් 09දෙනා රිමාන්ඩ් භාරයේ සිට නැවත අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ විත්තියේ නීතිඥ මහත්ම මහත්මීන් දීර්ඝ ලෙස කරුණු දක්වමින් සැකකරුවන් ඇප මත මුදා හරින මෙන් ඉල්ලා සිටියත් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් එසේ ඔවුන් නව දෙනාම තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කළේය.
එම කැණීම් කළ ස්ථානය තුළ මහජනතාව ඉදිරියේ හා බලධාරී ආයතනවල අධීක්ෂණය යටතේ අද (21) කැණීම් කටයුතු සිදු කර කිසියම් පුරා වස්තුවක් තිබේ නම් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට මෙයට පෙර දිනයක වේයන්ගොඩ පොලීසියට නියෝග කර තිබිණ.
මේ අනුව අධිකරණ නියෝගයට අනුව අද (21) එම ස්ථානය තුළ ප්‍රසිද්ධියේ වේයන්ගොඩ පොලීසිය කැණීම් කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.
මෙම නඩුව නැවත කැඳවීම දෙසැම්බර් මස 03 වැනිදාට කල් තැබිණ.
විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් දිසානායක මහතා ප්‍රමුඛ නීතිඥ මහත්ම මහත්මීහු පිරිසක් පෙනී සිටියහ.
වේයන්ගොඩ පොලීසියේ පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රේමරත්න මහතා පැමිණිල්ල මෙහෙයවිය.