පවතින වර්ෂාපතනය නිසා ඕපනායක – කැන්දකැටිය මාර්ගයට පෙරේදා (19) අලුයම පස් කඳු කඩාවැටීමෙන් එහි වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව රත්නපුර ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මේ නිසා ප්රදේශවාසීහු දැඩි දුෂ්කරතාවට ලක්ව සිටිති. ප්රාදේශීය සභාව සහ ඕපනායක පොලීසිය මැදිහත්ව කඩාවැටුණු පස් සහ ගල් ඉවත් කරමින් ඇතැයි රත්නපුර ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
ඕපනායක – කැන්දකැටිය මාර්ගය වතුකන්ද ප්රදේශයෙන් මෙලෙස අවහිරවී තිබේ. පස් කන්ද කඩාවැටුණු ස්ථානයට ඉහළ ප්රදේශයේ අනතුරුදායක ගල් කිහිපයක් ඇති බව ද ප්රදේශවාසීහු පවසති.
මෙම ප්රදේශයේ ඉහළ කොටසේ නිවාස කිහිපයක පදිංචිකරුවන් ද සිටින බැවින් එම ප්රදේශයේ අවදානම් තත්ත්වය ගැන ද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් පරික්ෂා කිරීමට නියමිතව ඇතැයි ද ආපදා කළමනාකරණ ඒකකය පවසයි.