අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වන්නම්කුලම ගම්මානයේ ජනයා විවිධාකාර වූ ප්‍රශ්න කන්දරාවකින් පීඩා විඳින බව එම ගම්වාසීහු කියා සිටිති. පානීය ජලයේ සිට ගමනාගමනය, විදුලිය ආදී ප්‍රධාන අවශ්‍යතා සියල්ල සපයා ගැනීමේදී මෙම ජනතාව මහත් දුෂ්කරතාවයකට මුහුණ දෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසී එච්. උක්කුබණ්ඩා මහතා මෙසේ පැවැසීය.
‘මේ ගමේ පවුල් 165ක් විතර ඉන්නවා. අපේ මිනිස්සු අනේකවිධ ගැටලුවලට මුහුණ දෙනවා. බොන්න වතුර නැහැ. බොන්නේ ෆිල්ටර් වතුර. ඒවාට සල්ලි ගෙවන්න ඕනෑ. පවුල් සියල්ලටම නාන්න තියෙන්නෙ එක වැවයි. ඒ වැව පිරෙන්නේ වැස්ස ආවොත් විතරයි. සොරොව්ව කැඩිලා ගිහිල්ලා. වැවේ ජලජ ශාක පිරිලා. මේවා ගැන හොයන්න කවුරුවත් නැහැ මිනිස්සු තමන්ගේ ගෙවත්තේ ළිං කපාන ඉන්නවා. ඒවත් පායන කාලේට හිඳෙනවා. අපි දන්න දා ඉඳලා ගමේ සංවර්ධනයක් නැහැ. ගලෙන්බිඳුනුවැවේ ඉදලා අමුණුකොළේ හන්දියට බස් එකේ එනවා. එතැන ඉඳලා කිලෝමීටර් 8ක් විතර පයින් තමයි යන්නේ. ගමට බස් එකක් නැහැ. දාලා දෙන්න කියලා කියන්න ඕන හැම කෙනාටම කීවා. කවුරුත් ඇහැව්වේ නැහැ.Ó
ප්රදේශවාසියකු වන ටී.සෙනවිරත්න මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
“අපේ මිනිස්සු යල මහ දෙකම වැඩ කරනවා. ඒ මෙතැන තියෙන වැවට පිංසිදු වෙන්න. හැබැයි දැන් වානත් කැඩිලා. යම් විදිහකින් වැස්ස නැතිවුණොත් බත් කාලා ඉවරයි. අපේ මිනිස්සු වී වගාවට අමතරව හේන් වගාවත් කරනවා. කවුපි, මුං, ඉරිඟු, කොමඩු වගේ දේවල් වගා කරනවා. මෙදා පාර එක ගොවියෙක් රුපියල් ලක්ෂ දෙකක් විතර වියදම් කරලා කොමඩු හැදුවා.වැස්ස හින්දා ඒවා කුණු වුණා. අන්තිමට එච්චර වියදම් කරපු ගොවියකුට ගන්න පුළුවන් වුණේ රුපියල් 10,000-15,000ත් අතර මුදලක් විතරයි. යන්තම් අඳුර වැටීගෙන එනකොට එළියට යන්න බැහැ. උදේ 8 විතර වෙනකල් අලි ගම ඇතුළේ ඉන්නේ. අලි ගම් වැදුනම ලේසියකට යන්නේ නැහැ. ගේ ඇතුළේවත් වී තියාගන්න බැහැ.”
ජේ.මාටින් මහතා මෙම ගැටලුව සම්බන්ධයෙන් මෙසේ පැවැසීය.
“ලංකාවේ හැම තැනම පාරවල් කාපට් කරලා. අපේ ගමට එහෙම එකක් නැහැ. පාරේ වළවල්. ඩෝසර් කරලා ගියාම වැස්සට මඩ වෙන එක විතරයි වෙන්නේ. වතුර පාර යන්නේ පාර මැදින්. ගමේ ඉස්කොලේ තියෙන්නේ පහේ පංතියට විතරයි. එතැනින් පස්සේ එක්කෝ කැකිරාවට, එහෙමත් නැත්නම් යකල්ලට, එහෙමත් නැත්නම් ගලෙන්බිඳුනුවැවට. උසස් පෙළ කරන්න යන්නේ අනුරාධපුරයට. දරුවෝ අලි කරදරත් විඳගෙන පාරක් තොටක් හරියට නැතිව බස් එකක්වත් නැතිව කොහොමද මේ පාසල්වලට යන්නේ. මේවා ගැන තමයි හොයන්න බලන්න ඕනි.”