අම්බලන්තොට පහළ බැරගම සිට උඩ බැරගම දක්වා මාර්ගය කාපට් කිරීමට මාර්ගයේ බෝක්කු ගලවා දමා ඇතත් මාර්ගය මෙතෙක් කාපට් කිරීමක් සිදු නොකළ හෙයින් එම මාර්ගයේ ගමන් ගන්නා ගොවි ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.
පහළ බැරගම ලුනු බෝක්කුව අසල සිට උඩ බැරගම දක්වා දිවෙන මෙම මාර්ගය බොරළු අතුරා සකස් කර තිබුණද කාපට් කිරීමට බොරළු උඩින් ඒ.බී.සී ගල් තට්ටුවක් යොදා ඇති හෙයින් එම ගල් පාර පුරාම තැන තැන විසිරී මාර්ගයේ පයින්වත් ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ. මාර්ගයේ තැන් කිහිපයක ඇති බෝක්කු කඩා ඒවායේ සිලින්ඩර් පවා ඉවත් කර නව බෝක්කු සකස් කිරීමට සැලසුම් කර තිබුණද තිබුණු බෝක්කුවත් නැති කිරීමෙන් මාර්ගයේ තැන තැන වළවල් හෑරී යතුරු පැදියක්, පාපැදියක්වත් මාර්ගයේ ගමන් කළ නොහැකි තරමට මාර්ගය අබලන්ව ඇති බව ජනතාව තවදුරටත් පෙන්වා දෙති.