නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණ භුමියේ පිහිටා ඇති කිසිදු අවදානමක් නොමැති වටිනා ගස් පනහක් කපා දැමීමට හෝ විනාශ කිරීමට එහි පාලන අධිකාරිය විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කළ බව නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රදීප් දලන්සූරිය මහතා පැවැසීය.
අක්කර 300ක පමණ වපසරියකින් යුත් මෙම ගොල්ෆ් ක්‍රීඩාංගණයේ වසර 100කට වඩා ඉපැරණි ගාන්ඩිස්, රෙඩ් ගාන්ඩිස්, සයිප්‍රස් ඇතුළු නුවරඑළියට පමණක් ආවේණික වූ ගස් පනහක බඳෙහි පොතු ගලවා එහි කළු තෙල් ගල්වා ඇති බවත්, එමඟින් ගස් වියළී ගොස් විනාශ වන බවත් නුවරඑළිය ප්‍රදේශවාසීහු කියා සිටිති. නුවරඑළිය ප්‍රදේශයේ මීට පෙර සංවර්ධන කටයුතු සිදු කිරීමේදී පරිසරය සුන්දර කිරීම සඳහා වගා කර ඇති ගස් කපා දැමීමට අනුමැතිය නොලැබෙන නිසා එම ගස් මෙසේ ඉතා සූක්ෂ්මව මෙවැනි ආකාරයට විනාශ කරන බව ප්‍රදේශවාසීහු වැඩිදුරටත් කියා සිටියහ. නුවරඑළිය සෙන්පති මැදුර ඇතුළු ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටා ඇති ගස් 50ක් මෙසේ විනාශ කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
ප්‍රාදේශීය ලේකම්වරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ, එම ගස් කපා දැමීමට හෝ විනාශ කිරීමට අදාළ රාජ්‍ය අයතන වෙතින් හෝ තමන්ගෙන් කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවත්, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති නිසා එම ගස් කපා දැමීමට පියවර නොගන්නා ලෙස නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ පාලනාධිකාරියට දැනුම් දුන් බවත්ය.
මේ සම්බන්ධයෙන් නුවරඑළිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති සහ නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ නිත්‍ය සාමාජික මහින්ද දොඩම්පේගමගේ මහතාගෙන් කළ විමසුමකට අනුව ඔහු කියා සිටියේ, නුවරඑළිය මහ නගර සභාවට සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයාට අයත් නගර මධ්‍යයේ පිහිටි අක්කර 300ක පමණ වපසරියකින් යුත් ඉඩම නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජයට 99 අවුරුදු බද්දකට නිදහස් කර ඇති බවයි. එම ඉඩම නුවරඑළිය සංචාරක කර්මාන්තයට වටිනා සන්ධිස්ථානයක් බවත්, එම ක්‍රීඩාංගණය දැනට කොළඹ ප්‍රදේශයේ පදිංචි ඉහළ පන්තියේ පිරිසකගේ විනෝදාස්වාදය සඳහා පමණක් භාවිත කරන බවත් කී ඒ මහතා, මෙම ඉඩමට හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා වසරකට විදේශිකයන් මිලියනයක් මෙරටට ගෙන්වා ගැනීමට ව්‍යාපෘතියක් ඉදිරිපත් කළද, එම ව්‍යාපෘතිය සඳහා ගොල්ෆ් ක්‍රීඩාංගණයේ ඉඩමේ කොටසක් නිදහස් කිරීමට එවකට සිටි දේශපාලන අධිකාරිය සහ බලධාරීන් පියවර නොගත් බවද වැඩිදුරටත් කියා සිටියේය.