හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු තම වත්තට අනවසරයෙන් ඇතුළු වී මහා පරිමාණ වැලි ජාවාරමක් සිදු කර ඇති බව නාත්තන්ඩිය දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වර්ණකුලසූරිය සෙබස්තියන් ඩොනල්ඩ් ප්‍රනාන්දු නමැති අයකු මාරවිල පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇත.
ඩොනල්ඩ් මහතා අක්කර පහකට ආසන්න මෙම ඉඩම මිලදී ගෙන ඇත්තේ 2020 වර්ෂයේදීය. මිලදී ගැනීමෙන් පසු ඩොනල්ඩ් මහතා මෙම ඉඩමේ අන්නාසි හා කෙසෙල් වගාකර ඇති අතර පසුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා විසින් රාජ්‍ය බලය භාවිත කරමින් ඩොනල්ඩ් මහතාට වත්තට ඇතුළු වීමට ඉඩ ලබා දී නොමැත.
මේ සඳහා මැර පිරිසක් යොදාගෙන ඇති අතර ඉඩමට ඇතුළුවීමක් හෝ මීට ආදාළ පොලිස් පැමිණිල්ලක් සිදු කළහොත් මරණ බවට තර්ජනය කර ඇත. ඒ අනුව ඉඩමේ හිමිකරු ඉඩමට ඇතුළුවීම හෝ පොලීසියේ පැමිණිල්ලක් දැමීම සිදු කර නොමැත.
රාජ්‍ය බලය අහිමිවීමත් සමඟ ඩොනල්ඩ් මහතා ඉඩමට පැමිණ ඇති අතර එහිදී රුපියල් කෝටි ගණනක් වටිනා වැලි කඳු කිහිපයක් ඉඩමේ තිබී ඇත. එම වැලි තමාගේ ඉඩමෙන්ම ලබා ගන්නා ලද වැලි බව ඩොනල්ඩ් මහතා පැවැසීය. ඒ වැලි ලබා ගන්නා ලද ස්ථාන දකින්න ලැබීම හේතුවෙනි.
මේ සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් කළ විමසීමේදී කියා සිටියේ තමන් කිසිදු වැලි ජාවාරමක් සිදු කර නොමැති බවයි. තමන්ට මඩ ගැසීමේ
වැඩපිළිවෙළක් මේ දිනවල ක්‍රියාත්මක වන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරි එස්.ඩී.ආර්. ප්‍රියන්ත මහතාගේ උපදෙස් පරිදි මාරවිල පොලීසිය මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.