දරු ප්‍රසූතිය සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කළ මවක් හා ප්‍රසූත කළ දරුවා මියයෑම ගැන මවගේ ඥාතීන් පෙරේදා (19) රාත්‍රියේ රෝහල තුළ නොසන්සුන්ව හැසිරීම හේතුවෙන් රෝහලේ පාලන කටයුතු පවා බිඳ වැටී තිබුණි.
ඥාතීන්ගේ මතය වී ඇත්තේ, දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් කළ මව හා උපන් දරුවා මියගියේ රෝහල් කාර්ය මණ්ඩලයේ වරදින් බවයි.
මන්නාරම පට්ටිතෝට්ටම් ප්‍රදේශයේ තරුණ කාන්තාවක් සිය පළමු දරුවා බිහි කිරීම පිණිස රෝහල්ගත වී දරු ප්‍රසූතියේදී මෙසේ මියගොස් ඇත. ඇය නියමිත පරිදි මන්නාරම රෝහලේම වෛද්‍ය සායන සියල්ලටම සහභාගි වී ඇති බව ඇගේ ඥාතීහු පවසති. මවට දරුවා බිහි කිරීමට අපහසුතාවක් හා ඇයට හුස්ම ගැනීමට අපහසුතාවක් හටගත් අවස්ථාවේදී සිසේරියන් සැත්කමකින් දරුවා ලබාගත යුතු බවට ඥාතීන් කළ ඉල්ලීමට අවනත නොවූ රෝහලේ වෛද්‍යවරු, හෙදියන් හා සෙසු කාර්ය මණ්ඩලය දරුවා බලහත්කාරයෙන් ප්‍රසූත කරවා ගැනීමට යෑම නිසා මේ අවාසනාවන්ත සිද්ධිය සිදු වූ බව කියා සිටියහ.
දරුවා හා මව මියගිය බව ඥාතීන්ට ප්‍රකාශ නොකොට පැය කිහිපයක් තිස්සේ රෝහල් කාර්ය මණ්ඩලය විවිධ ක්‍රියාකාරකම්වල නිරත වූ බවද ඥාතීහු කියා සිටියහ.
මන්නාරම රෝහලේදී දරු ප්‍රසූතිවලදී දරුවන් මියයෑමේ සිද්ධීන් තුනක්ම මේ වසරේ ගත වූ කෙටි කාලයේදී වර්තා වූ අතර, එම සිද්ධීන් ගැන පරීක්ෂණ පවත්වා රෝහල් කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.