සෙනසුරාදා (23) පමණ වන විට ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර, ඉන් අනතුරුව එළඹෙන දින 2 තුළදී එය නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඒ පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ නැඟෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන අතර, අදාළ මුහුදු ප්‍රදේශවල කටයුතු කරන නාවික හා ධීවර ප්‍රජාවන්, නැඟෙනහිර සහ උතුරු පළාත් වන වෙසෙන මහජනතාවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බවත් කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය මහතා පැවසීය.
බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (21) දිනයේ මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දිනය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කියා සිටී. උතුරු, උතුරු-මැද, නැඟෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි වැසි ඇති විය හැකිය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැතින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම අනාවැකියේ සඳහන් වේ. ඊයේ (20) පස්වරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මි.මී 137ක් ලෙස දැරණියගලින් වාර්තා විය. පවතින වර්ෂාව හේතුවෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ගාල්ල, කළුතර, කෑගල්ල, කුරුණෑගල, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක් සඳහා නායයෑම් පිළිබඳ විමසිලිමත් වීමේ පළමු අදියරේ නිවේදනය නිකුත් කර තිබේ. මෙය අද (21) ප.ව. 4.00 දක්වා වලංගු වේ.