වී ගොවීන් සඳහා රජයේ පොහොර සහනාධාරය වශයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා ඊයේ (20) වන විට රුපියල් කෝටි 3.2කට ආසන්න මුදලක් (මිලියන 31.8 ක්) මුදාහැර ඇති බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා පැවසීය.
දිනමිණ කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ මේ මුදල් අද (21) සිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවින්ගේ බැංකු ගිණුම් වෙත බැර වනු ඇති බවයි.
මේ මුදල ගොවීන් 2,264ක් අතර රුපියල් 15,000 බැගින් බෙදාහැරෙන අතර වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර 2,124කි.
මෙයට අමතරව ඒ දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී වගාව ඉදිරියේදී අරඹන අනෙක් ගොවීන් සඳහා පොහොර සහනාධාරය පිරිනැමීමට සඳහා මහාභාණ්ඩාගාරයෙන් තවත් රුපියල් කෝටි 6.3ක් (මිලියන 63ක්) ඉල්ලා ඇතැයිද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා කීය. මේ මුදල් ගොවීන් 4,346 දෙනකුගේ ගොවි ගිණුම්වලට බැර කිරීමට නියමිත අතර, ඒ අනුව ඒම දිස්ත්‍රික්කයේ පොහොර සහනාධාර ප්‍රතිලාභී ගොවීන් සංඛ්‍යාව 6,700කි.වගා කෙරෙන කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර 6,270කි. ඒ අනුව පොහොර සහනාධාරය ලෙස පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා ලබා දීමට සැලසුම් කර ඇති මුදල රුපියල් කෝටි 9.4කි.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් වෙත රජයේ පොහොර සහනාධාරය ප්‍රමාද කෙරෙන බවට සහ ඒ පිළිබඳ විවිධ අසත්‍ය ප්‍රචාර ඇතැම් පිරිස් පසුගිය දිනවල සිදු කළ බවද මෙහිදී පෙන්වා දුන් ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේ මහ කන්නයේ වී වගාව ආරම්භ කළ බව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් කළ දැනුම් දීමත් සමඟ අද(21) සිට මේ මුදල් ගොවි ගිණුම් වෙත බැර කිරීමට කටයුතු සම්පාදනය කළ බවයි.