ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා ශ්‍රීමතාණන්ගේ 137 වන ජන්ම සංවත්සරය මේ මස 26 වැනිදාට යෙදී තිබේ.මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ගාල්ල, රත්ගම, ඕවකන්දේ පදිංචි එමෝ ද සිල්වා මහතාගේ බිරිය වන ඇලිස් ගුණසේකර මහත්මියට 1887.11.26 වැනි දින පුත් රුවනක් ලැබිණි.ඒ වනාහි රත්ගම පුරවරය බැබළවූ ද ලංකාවාසි ජනතාවට අනූපමේය සේවයක් කළා වූ ද මානව හිතවාදී ඇල්බට් අර්නස්ට් ද සිල්වා කුමරුවන්ගේඋපතය. එතුමාගේ පියා ප්‍රධාන පෙළේ ඉඩම් හිමි වැවිලිකරුවකු විය. මව ඉඩම් හිමි ධනවත් පවුලක උපන් බෞද්ධ කාන්තාවකි. සමාජයේ උසස් තලයක ජීවත්වූ ඔවුහු සිය ව්‍යාපාරික කටයුතු නිසා කොළඹ ÒසිරිමතිපායේÓජීවත්වූහ. (සිරිමතිපාය අද අගමැති කාර්යාලයයි.)
කොළඹ නගරයේ හැඳී වැඩී කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව එංගලන්තයේ කේම්බිජ් විශ්වවිද්‍යාලයේ කෙලයාර් විද්‍යාලයෙන් බැරිස්ටර්වරයකු ලෙස සාමාර්ථය ලැබූ අර්නස්ට් ද සිල්වා 1912 දී ලංකාවට පැමිණියේය. සිය රට බලා පැමිණි මේ තරුණයා නීතිඥ වෘත්තියේ නොයෙදී තම පියාගේ ව්‍යාපාරික කටයුතුවල නියැළිණි. ඉහළ පෙළේ ධනවතකු වූ මේ බුද්ධිමත් තරුණයා තම ඥාතියකු වූ එස්.ද.එස්. ගුණසේකර මහතාගේ දියණිය ඉවැඩ්නි ද සිල්වා මෙෙණවිය සමඟ 1913.05.16 වැනි දින විවාහ දිවියට පා තැබීය.
වැවිලි ක්ෂේත්‍රයේ ඉහළ තලයක සිටි අර්නර්ස්ට් ද සිල්වා මහතා 1915දී ලංකාවේ ප්‍රධානම ධන කුවේරයා බවට පත්විය. එතුමා ශ්‍රේෂ්ඨ බෞද්ධෙයකි. දර්ශනවේදිෙයකි. දක්ෂ පාලකයෙකි. දේශමාමකයෙකි.ක්‍රීඩකයෙකි. විනෝදකාමියෙකි. එසේම මානව දයාවෙන් පිරුණු උතුම් පරිත්‍යාගශීලියෙකි. මේ සෑම ගුණාංගයකින්ම එතුමා ඉහළම ගෞරවය දිනා ගැනීමට සමත්විය.
ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මහතා 1912දී ලන්ඩන් කේම්බ්‍රිජ් කෙලයාර් විශ්වවිද්‍යාලයෙන් බැරිස්ටර් නීති උපාධිය ලබා ගන්නා විට ඉන්දියාවේ නිදහස් සටනේ පුරෝගාමීයකු වූ ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා ද එම විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගත් සමකාලීන මිතුරකු විය. 20 වැනි සියවස වනවිට සිය ජන්ම භූමිය වූ රත්ගම දරිද්‍රතාව සහ නූගත්කම නමැති අඳුරුවලා පටලයෙන් වැසී තිබිණි. ඒ අඳුරුවලා පටලය ඉරා දමා ප්‍රදේශවාසීන්ට උසස් ජීවන තත්ත්වයක් ඇති කරළීම කෙරෙහි එතුමාගේ විශේෂ අවධානය යොමු විය. මේ කාලයේ ඉංග්‍රීසි සහ සිංහල අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාද තිබුණේ එක්තරා පන්තියකට පමණි. දරිද්‍රතාවෙන් පෙළුණු රත්ගම ප්‍රදේශවාසීන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට එතුමා ක්‍රී.ව. 1920දී රත්ගම දේවපතිරාජ විද්‍යාලය ස්වකීය ධන පරිත්‍යාගයෙන් ඉදි කළේය. ඒ තම මවගේ සහෝදරයා (මාමා)වන එයාරිස් ද සිල්වා ගුණසේකර මහතාට අයත් ඕවකන්දේ අක්කර 80ක වූ භූමිභාගයකය. දේවපතිරාජ විද්‍යාලය ලංකාවේ නොමිලේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමට පිහිටුවන ලද ප්‍රථම විද්‍යායතනය වූ අතර රත්ගම මව්පියන්ගේ දූ දරුවන්ට ඉංග්‍රීසි ඉගෙනීමේ වාසනාව එයින් උදාවිය ආරම්භයේ දී ද්විභාෂා පාඨශාලාවක් ලෙස හැඳින්වූ මේ පාසල ක්‍රමයෙන් දියුණු විය.
20 වන සියවස මුල්භාගය සිංහල ජාතියත් බුද්ධාගමත් ආරක්‍ෂා කර ගැනීමට බුද්ධිමත්, ධනවත් වීරයන් සටන් කළ අවධියකි. දේශබන්දු එෆ්.ආර්. සේනානායක, වලිසිංහ හරිස්චන්ද්‍ර, ශ්‍රීමත් බාරෝන් ජයතිලක, මහමාන්‍ය ඩී.එස්. සේනානායක ඒ අතරින් කිහිප දෙනෙකි. සිංහල ජාතියේත් බුද්ධ ශාසනයේත් අභිවෘද්ධිය පතා බෞද්ධ දරු පරපුරට බොදු දැනුම ලබාදීමේ විශිෂ්ට කර්තව්‍යයක නියැළුණු කොළඹ තරුණ බෞද්ධ සමිතියේ සභාපති තනතුරට එතුමා වර්ෂ 1944දී පත්විය. මුද්දර එකතු කිරීම ද මෙතුමාගේ විනෝදාංශයක් වූ අතර, දුර්ලභ ගණයේ මුද්දර එකතු කිරීමේ ලෝක වාර්තාව පිහිටුවූයේ ද එතුමාය. මෙතුමා සතුව තිබුණු දුර්ලභ ගණයේ මුද්දරයක් එංගලන්තයේ දී රන් පවුම් දහසකට අලෙවි විය. ඒ නිසාම එතුමා Òමුද්දර රජාÓ විරුදාවලියෙන් හැඳින්වුණු 1916 දී කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී ධුරයකට පත් මෙතුමා 1926 දක්වා කොළඹ මහ නගර සභාවේ මරදාන කොට්ඨාසයේ නාගරික මන්ත්‍රීවරයා ලෙස සේවය කරමින් දුප්පත් ජනතාවගේ හිතසුව පිණිස කටයුතු කළේය. මෙතුමාගේ අනුපමේය සේවය අගය කළ බ්‍රිතාන්‍යයේ මහරජු විසින් එරටින් පිරිනමනු ලබන ඉහළම ප්‍රභූ සම්මානය Òනයිට්පදවියÓ එතුමාට 1946.01.10 වැනි දින පිරිනැමීය.
දුබලයා ප්‍රබලයා කිරීම එතුමාගේ දර්ශනයේ තවත් ප්‍රබල අංගයක් විය. එයින් කායික මානසික වශයෙන් දුබල අයකුට මේ අපේක්ෂාවන් මුදුන් පත්කර ගැනීමේ ශක්‍යතාව ඇති කිරීමේ කටුයතුවල දී එවැනි පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමට අවධානය යොමු කළේය.
ඒ නිසාම මානසික ආබාධිත දරුවන් සඳහා නිවාස ඉදිකර ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කළේය. ඒ අනුව රාජගිරියේ වික්ටෝරියා ළමා නිවාසය ඉදිකර අවශ්‍ය සියලු පහසුකම් සලසා දුන්නේය. එපමණක් නොව පාණදුර වලානේ ළමා නිවාසය ද, කටුනායක ලක්ෂ්මි ළමා නිවාසය ද, ආබාධිත බාලිකාවන් සඳහා ඇන්ජලා ළමා නිවාසය, මොරටුව ලුනාවේ පිහිටුවන ලදී. මේ හැර වැඩිහිටි කාන්තාවන්ට පාණදුර මල්ලිකා නිවාසය ඉදිකිරීම ද මෙතුමාගේ සත්ක්‍රියා අතර වේ. අර්නස්ට් ද සිල්වා ශ්‍රීමතාණන්ගේ සේවය අනල්පය. අසාමාන්‍යය. අමරණීයය. අධිෂ්ඨානශීලි චින්තන ධාරාවන්ගෙන් හදවත සපුරා ගත් මෙතුමා අත තැබූ හැම ක්‍රියාදාමයකින්ම උසස්ම පල නෙළා ගත්තේය. බුද්ධ ශාසනයේත් ජන ජීවිතයේත් චිරජීවනය සඳහා එතුමා කළ කැපවීම සදානුස්මරණීය වේ. අසාමාන්‍ය මානව හිතවාදියකු ලෙස වාසනාවන්ත ජීවිතයක් ගත කළ මෙතුමා අවුරුදු 70ක් ආයු වළදා 1957 මැයි 9 වැනි දින අභාවප්‍රාප්ත විය.
රුවන් තොටගමුවගේ
රත්ගම දේවපතිරාජ ජාතික පාසලේ
ආදි ශිෂ්‍ය සංගමය සාමාජික