වෙලාව පාන්දර තුනත් පහු වෙලා… පැය විස්සක විතර කාලයක්, කිලෝමීටර දහස් ගණනක් දුර ගෙවාගෙන ආවත්, මේ පපුවට තුරුලු වෙලා ඉන්නකොට මහන්සියක් දැනෙන්නෙ නෑ… ඒ හද ගැස්ම හරිම හුරුයි… සංසාරේ පුරාවට දැනිච්ච, හුරු වෙච්ච සද්දයක්…
මම දිගම දිග හුස්මක් අර ගත්තා… ඒ සුවඳ මගේ නාස් පුඩු දෙකෙන් ඇතුළට ගිහින්, මගේ මුළු ආත්මය පුරාම පැතිරිලා යනවා මට දැනුනා… නින්ද අහලකවත් නෑ… කාමරය එළිය වෙලා තියෙන්නේ ජනෙල් තිර අතරින් පෙරී එන සඳ එළියෙන් විතරයි…මට ඔහු නිතරම ගිටාරයත් සමඟ මුමුණන, පණ්ඩිත් අමරදේවයන්ගේ සිංදුවක් මතක් වුණා..
“සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා පෙළක සැඟවිලා
අපේ සොඳුරු පෙම් කතා
අසා සිටිනවා…”
මම හිමිහිට මූණ ඒ පපුවෙන් ගන්න හැදුවා.
“එපා…”
එයත් නිදි නෑ… මගේ වටේ, මාව තුරුලු කරන් හිටිය අත් දෙක, තවත් තද වුණා… එයාගෙ වම් කකුල මගේ ඉණ උඩින් ගිහින් මාව තවත් තුරුලු කර ගත්තා… ඒ හැඩි දැඩි පිරිමි ශරීරයේ උණුහුම මගේ ඇටමිදුලුවලටත් දැනෙනවා…
“බරයි මට…” මම ඒ පපුවට හිනා වුණා…
“මොනවද ඔය හැටි හිතන්නෙ මැණිකේ…” එයාගෙ හඬ රහසක් වාගේ මට ඇහෙන්නේ… තොල් පෙති දෙක මගේ දකුණු කන් පෙත්තට කිති කවනවා…
මට අතීතයේ ඒ දෛවෝපගත දවස මතක් වුණා…
මම එකපාරටම ගැස්සිල ඇහැරුණේ දුරකතනය නාදවෙන සද්දෙට…හිරිගඩු පිපෙන සීතල… කළුවරේ අතපත ගාලා ජංගම දුරකතනය අතට ගත්තා…වෙලාව පාන්දර 2.30…
“මැසෙන්ජර්” ඇමතුමක්…
ඇමතුම එන්නෙ ලංකාවෙ යාළුවෙක්ගෙන්…දැන හඳුනාගෙන ටික කාලයක් වුණාට, හිටි ගමන් කතා කරල බහුශ්‍රැත ප්‍රශ්නවලට තර්ක කළාට, කවමදාවත්ම මේ වගේ වෙලාවක මට ඇමතුමක් අරං නෑ…
ඔහු ජීවත් වුණේ තනියම, කිසිම දවසක, මට කිසිම ප්‍රශ්නයක් හේතුවක් නොකීවත්, කියන සමහර දේවල්වලින් ඔහුගේ ගතකරන ජීවිතය ගැන මට අනුමාන කර ගැනීමට හැකියාවක් තිබුණා. කවදාවත් ඒ පෞද්ගලික ප්‍රශ්න ගැන හාර අවුස්සන්න මට ඕනකමක් තිබුණෙත් නෑ.
“මේ වගේ පිරිමියෙක්ට විසඳගන්න බැරි ප්‍රශ්නයක් තියනවද?” මට හිතුනෙ එහෙම.
හැබැයි කතා කරපු වෙලාවට දේශපාලනය, කවිය, පත පොත, සංස්කෘතිය වගේම බුද්ධ ධර්මය ගැනත් අපි අතර කෙරුණ තර්ක විතර්ක නම් බොහොමයි. ගොඩක් වෙලාවට ඒවා අවසාන වුණේ ආය කවදාවත් කතා නොකරයි කියල හිතන තරමටම කතාව දුර දිග ගිහින්…
දුරකතනය තාමත් සීතල මෙල්බර්න් රැයේ නිහැඬියාව බිඳිමින් නද දෙනවා…
හදිස්සියක් වෙලාද? මට හිතුණා…
මම දුරකතනයේ පිළිතුරු බොත්තම එබුවා…
“හෙලෝ”
“මම සින්දුවක් කියනවා… අහන්න පුළුවන්ද?”
ඔහු එක පාරටම කීවා, සියුම් නෙරුස්සුම් ගතියක් මගෙ හිතට ආවෙ මටත් නෙදැනීම. බීලද මන්දා, මට හිතුණා..
“මේ මහ රෑ? දැන් වෙලාව කීයද දන්නවද?” මගේ කට හඬේ තිබුණ නිදි බර ගතියට සියුම් නොරිස්සුමකුත් මුසු වුණා…
“ ඔව් දන්නවා… මට ගොඩක් වේදනාවක් දැනෙනවා. මගේ කනෙන් ලේ එනවා.”
මගේ නිදිමත එක පාරටම කොහේ ගියාද දන්නෙ නෑ. කරදරයක්…
“මොකද්ද වුණේ?”
“සර්ජරි එකක් කළා, දැන් ගොඩක් රිදෙනවා”
“ සර්ජරි? ඉතින් සින්දු කියන්නේ.”
“ වේදනාව නැතිකර ගන්න.”
“ ඉතින් ලේ එනවනේ..”
“ සින්දුවක් කිව්වම හරියයි..”
“කවුද ගෙදර ඉන්නේ?”
මොහොතක නිහඬතාවයක්….
“කවුරුවත් නෑ”
මගෙ හිත නැවතුණා…
“ පේන්කිලර්ස් ගත්තද?..”
“ ඔව්. ඒත් ගොඩක් රිදෙනවා. සින්දුවක් කිව්වම හරියයි”
“ සින්දු කිව්වම ලේ නවතිනවා…? පුදුමයි…. පළවෙනි පාරට මම ඇහුවේ..”
මම සුපුරුදු සැහැල්ලු ගතියට සංවාදය ගේන්න උත්සාහ කළා…
“ මම සින්දුවක් කියන්නද..?…වේදනාව නැතිවෙයි.”
ඔහුගේ හඬ නොඉවසිලිමත්, වේදනාකාරියි… ඇත්තටම ඔහු වේදනාවෙන්…
මට කතා කරගන්න බැරිවුණා තප්පර කිහිපයකට…
“ඉන්න, මම ඉයර්ෆෝන් එක කනෙක්ට් කර ගන්නකම්…”
මම ඉයර්ෆෝනය දුරකතනයට සවි කර ගත්තා…
“ එහෙනම් කියන්න. මම අහගෙන ඉන්නම්”
“හිරුගේ ලොවේදී අප වෙන් වෙමු
සඳුගේ රැයේදී යළි හමු වෙමු…. යළි හමු වෙමූ”
ගිටාර් එකත් එක්ක ඒ එන හඬ… ගීතයට යටින් තියන හැඟීම්, වේදනාව, තනිකම, පාළුව, හුදෙකලාව මගේ කන හරහා ගිහින් මගේ හිතේ ගැඹුරුම තැනකට ඇතුළු වුණා…
පව් මේ මනුස්ස ආත්මය….
ඔහු තව සින්දුවක් පටන් ගත්තා…
“ආවාදෝ…සංසාරේ….
මා හා බැඳී….සැමදා…පාවී…
මාගේ…සෙවණැල්ල සේ…..
ආවාදෝ…සංසාරේ…. ආවාදෝ…සංසාරේ….”
ඒ වචනවල තිබ්බෙ බලාපොරොත්තුවක්…කවදා හෝ සිදුවෙයි කියල ඔහු හීන මවන දෙයක් ගැන… ඒ හීනය එහෙමම සැබෑවෙන්න කියල මම මගේ හිතෙන් ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කළා…
“ දැන් කොහොමද..? රිදෙන්නේ නැද්ද?”
“නෑ දැන් අඩුයි”
“එහෙනම් දැන් නිදා ගන්න. මම හෙට උදේට කතා කරන්නම්. බුදු සරණයි”
නිදා ගන්න ඇහැ පියා ගත්තත් නින්ද අහලකටවත් ආවෙ නෑ… මහ රූස්ස ගහක් වාගේ මම දැක්ක මනුස්සයෙක්, කතා කරන හැම විෂයක් ගැනම මහා දැනුම් සම්භාරයක් තියන මනුස්සයෙක්, නහයට අහන්නැති කුකුල් කේන්තිකාරයෙක්, මිනිස්සුන්ට අසීමිතව උදව් කරන කෙනෙක් විදිහට මම දැකපු, මනුස්සයෙක්ගෙන් ආව ඒ අනපේක්ෂිත දුරකතන ඇමතුම මාව අතිශය කම්පනයට පත් කළා… ඒ දැවැන්ත පිරිමි ආත්මය අසරණ වුණ මොහොතක, සැතැප්ම දහස් ගාණක් ඈත සිටින ජීවිතයේ එකම එක වතාවක් පමණක් මිනිත්තු කිහිපයකට හමුවී ඇති මට ඇමතීම ගැන මට පුදුමයක් ඇති වුණා….
මහා සෙනඟක් මැද තනි වුණ ආත්මයක්… ජීවිතේ හොයන කෙනෙක්… මට හිතුණෙ එහෙම…
වෙනදා නොදැනුන මොකද්දෝ නුපුරුදු හැඟීමක් මගේ හිතේ කොනක මෝදු වුණා… ඒ අනුකම්පාවකට එහා ගිය සංවේදනයක් බව අවබෝධවීමට මට එය විශ්ලේෂණය කිරීමට අවශ්‍ය වුණේ නෑ…
මම හෙට උදෑසන ඔහුට කතා නොකරන බව මා දන්නවා…ඒ මගේ හැටි…ඔහු නැවත, ඔහුට කැමති දවසක, කැමති වෙලාවක කතා කරන වගත් මා දන්නවා…ඒ ඔහුගේ හැටි…
“හෙට උදේ massage එකක් දාල කොහොමද කියල බලනවා” මම මටම කියා ගත්තා…
ඒත්…
“කතරගම දෙයිහාමුදුරුවනේ, මේ මනුස්සයගෙ හිත සුවපත් කරන්න” මට හැමදාමත් පිහිටට ඉන්න කතරගම දෙයිහාමුදුරුවන්ට හිතෙන් කරපු ප්‍රාර්ථනාවත් එක්ක මං ඇස් පියා ගත්තා…
“මැණිකේ… ඇයි මේ කඳුළු?”
ඒ මතකයත් එක්ක මගේ ඇස්වලට උනපු කඳුළු මගේ හිසට කොට්ටයක්ව තිබූ ඔහුගේ දකුණු අත තෙත් කරලා…
“මුකුත් නෑ…” මම මගේ මූණ ඔහුගේ පපුවට තද කර ගත්තා…
“කියන්න…” ඔහු වමතින් මගේ නිකටින් ඔසවා මගේ ඇස් දෙකට එබුණා…
ජනේලය අතරින් ආපු හඳ එළිය තීරුවක් එයාගේ මූණ හරහට වැටිලා ඒ ඇස් දිළිසෙනවා…
“ඇයි ඔයා මට ආදරේ..” මම හිමීට ඇහැව්වා…
පැයකට දෙකකට කලින් මගේ මුළු ගතම සනසවපු ඒ තොල් දෙක මම ආස කරන විදිහේ හිනාවකින් සැරසුනා…
“මේ මහ පාන්දර උඹට වෙන හිතන්න දෙයක් ඇත්තෙම නැද්ද බං…”
“කියන්නකෝ…” මම හුරතල් වුණා…
“මම දන්නෑ බං… නිදා ගනිං…” ඔහුගේ හඬට හිනාව එකතු වෙලා…
මම මගේ මූණ ඔහුගේ රැවුලෙන් වැසුණු නිකටට ළං කළා… සුපුරුදු හාදුව ලබා ගන්න දෑස් අඩවන් කරගෙන මූණ ළං කරපු ඔහුගේ නිකට හීනියට හැපුවා..
“කියන්න…”
ඔහු මහ හඬින් සිනාසෙමින් අනිත් අතට පෙරළුණේ… මාත් එක්කම… මම දැන් ඔහුගේ ඇඟ උඩ.. මගේ මුහුණේ දකුණු පැත්ත හරියටම ඔහුගේ හදවත උඩ. ඔහු, ඔහුගේ වම් අතේ ඇඟිලි තුඩු මගේ හිස කෙස් අතරින් හිමීට යවන්න ගත්තා… දකුණු අත මගේ පිටුපස පිරිමදිනවා මට දැනෙනවා… හෙමි හෙමින්… ඔහුගේ දෙතොල් මගේ හිස් මුදුන මත හාදුවක් තිබ්බා හිමීට… මං ඇස් පියා ගත්තා…
“ආදරේට හේතුවක් නෑ මයෙ මැණිකේ… ඒ ආදරේ logical දෙයක් නොවන නිසා… ආදරේට logic එකක් නෑ, logic එකක් ආවොත් ඒක සාපේක්ෂ දෙයක්. ඒත් ආදරේ නිරපේක්ෂ දෙයක්.”
මගේ හිත මහා සැහැල්ලුවකින් පුළුන් රොදක් වාගේ අහසෙ පාවෙන්න ගත්තා…
“තේරුනාද?”
“නෑ..”
ඒ දෙතොල් ආයෙමත් මගේ හිස්මුදුන සිප ගත්තා
“ආදරේට හේතු නෑ.”
“හා…”
ඒ නැළවිලි ගීයක් වාගෙ ඇහෙන හදවතේ සද්දෙත් එක්ක, මගේ හිස අතගාන ඇඟිලි තුඩුවල පහසත් එක්ක, මගේ ශරීරය පුරා රස්තියාදුවේ යන අතත් එක්ක, ඒ උණුහුමට තුරුල් වෙලා මගේ සිරුරේ විඩාවට මම අවනත වුණා…
කල්පයක් වාගේ දැනුන මාස තුනකට පස්සෙ මම ආයෙමත් ගෙදර… මගේ නිවහන… මගේ ක්ෂේම භූමිය..
ඔහු තමා මගේ ක්ෂේම භූමිය
ආචාර්ය රසිකා කුමාරසිංහ
මෙල්බර්න්