Home » ඇපල් යුෂ වීදුරුවක්

ඇපල් යුෂ වීදුරුවක්

by Gayan Abeykoon
November 21, 2024 1:03 am 0 comment

“මම කවදාහරි ඔයාගෙ වෙඩින් එකට එන්නෙ නැහැ”

“හැමෝම අපිව දන්නෙ හොඳම යාළුවො විදිහට නේද”

“මට ඇඬුනොත්?”

එයා ගැස්සිලා වගේ මං දිහා බැලුවා. වචනයක්වත් කිව්වෙ නැහැ. අපි අතරෙ මේ දෙබස හුවමාරු වෙලා දැන් දශකයකටත් වැඩීයි. ලස්සන සාරියක් ඇඳලා මං ඒ වෙඩින් එකටත් ගියා. ඒ තීරණාත්මක දශකය ඇතුළෙ මොන තරම් දේවල් වුණාද. එළවළු මල්ලක් එක අතකිනුත් ලස්සන පුංචි බබෙක් අනිත් අතිනුත් අරං ඒ ගෙවල් පාරෙ යනවා හීනෙනුත් දැකලා සුන්දර ප්‍රහර්ෂයක් වින්ද පුංචි කෙල්ලෙක්, එමිරේට්ස් ගුවන් යානයක බිස්නස් ක්ලාස් එකේ තනියෙන් යන අතරෙ ඇපල් යුෂ වීදුරුවක් බොන ගමන් මේ ලියන්නෙ ඒ කතාව.

මං හිතන්නෙ අපිට අපිව ඇති වෙලා තිබුණෙ. එයා හොයන සුන්දර සරාගී ලාලිත්‍යවත් කෙල්ල මම නොවන බවත්, මගෙ කොහොමටත් තුවාල වුණ ඇතුළු හදවතේ ඔසු ගල්වා වැලඳගන්නා පුද්ගලයා ඔහු නොවන බවත් මට තේරිලා තිබුණා. මා තුළ හිටපු ලාලිත්‍යවත් ගෑනු ළමයා අවදි කරන්න නම් ඔහු මාව වැලඳ ගත යුතු වූවා වගේම, ඔහුට වැලඳගන්න පුළුවන් වුණේ ලාලිත්‍යවත් සුන්දර කෙල්ලක පමණයි. අපි දෙන්නාම මේ විසම චක්‍රය ඇතුළෙ හිරවෙලා ඉන්නවට වඩා මං කැමති වුණා ඒක බිඳගෙන එළියට යන්න. මං මෙතනදි අවංකවම එක දෙයක් කියන්න ඕනෙ. අපි අතරෙ සම්බන්ධයක් තිබ්බා වුණත්, මොන හේතුවක් හින්දා ද මං දන්නෙ නෑ, ඔහු මට ආදරේ කළා කියලා ඒ සම්බන්ධතාවය ඇතුළෙ කවදාවත් මට දැනුනෙ නැහැ, අදට හිතෙන්නෙත් නැහැ. මගේ හිතේ තිබ්බ ආදරේ කිසිමාකාරයක හේතුවක් නැතුවත් මාව ඔහුට ඇද බැඳ තියාගත්තා වගේ, ඔහු මට බැඳුනෙ නැහැ. මේ මනුස්සයාව ළඟ තියාගන්න ජීවිත කාලෙම මැජික් පෙන්නන්න වෙයි කියන මරණීය බය මට දැනෙන්න පටන් අරං තිබ්බා. එහෙම කළත් ඒක තේරුමක් නෑ කියලා හිතන්න තරම් පරිණත ප්‍රේමයක් ඒ වයසෙදි තිබීමම එක්තරා විදිහක ජයග්‍රහණයක් කියලා අද මට හිතෙනවා.

“හෙට හම්බ වෙමුද”

“මේක ඉවරයි නේද”

තප්පර කීපයකට සීමා වුණ ඉතාම වියළි දුරකතන ඇමතුමක දෙවෙනි පේළිය කිව්වෙ, කවදාවත් එහෙම කියයි කියලා නොහිතපු මම. හරිහමන් සමුගැනීමක් ඒ සම්බන්ධයට තියෙන්න තිබුණා වුණත් එහෙම එකක් තිබුණෙ නැහැ. කිසිම හැඟීමක් නැති, පැවතුනා කියලා විස්වාස කරන්න බැරි තරම් ඉතාම වියළි, ඒ දුරකතන ඇමතුමෙන් පස්සෙ ලේ, මස්, ඇට නහරවලට මුල් බැසගත්ත ආදරයක් උගුල්ලලා අයින් කරන වේදනාව, සිහිසුන් වන සුලු ඒ වේදනාව දරාගන්න එක ලේසි වුණේ නැහැ. මං දිනපොතක් ලිව්වෙ ඒකයි.

දැනට අවුරුදු කීපයකට කලින් මං සුව වෙමින් ඉන්න කාලෙක මං ආයෙ ඒ දිනපොත කියෙව්වා. සුව වෙමින් හිඳීම උඩු යටිකුරු කරන්න පුළුවන් මගෙම වචන ඒකෙ තිබ්බා.

“මං අද ෆොටෝග්‍රැෆි කෝස් එකට ගිහින් එනකොට කෝච්චියට හැප්පෙන්න ගියා. මට කවදාවත් මැරෙන්න ඕනෙ වෙලා තිබ්බෙ නැහැ….” මෙන්න මේකයි කියලා හරියටම නමක් දෙන්න මං නොදන්න බැඳීමක් ඔහු එක්ක තිබ්බ ගෑනු ළමයෙක්ගෙ උපන්දිනයට කෝල් කරලා ඔහු වෙනුවෙන් සුබ පතන්න කියලා කලින් දා රෑ ඔහු මට කෝල් කර කර කිව්වා. මට එක දිගට විනාඩි 5ක් කතා කරන්න වෙලාවක් නැති, ජීවිතේට මගෙ උපන්දිනයක් මතක නැති මනුස්සයාගෙ ඒ සත්ව කරුණාව මට පැහැදිලි කරලා තිබ්බා ඔහුගේ ජීවිතේ ඇතුළෙ මට තියෙන තැන. ඒ පැහැදිලි කිරීම, කාලයක් තිස්සෙ දැනෙමින් තිබ්බ ආත්මානුකම්පාව උච්ඡම තැනකට ගෙනත් මාව කෝච්චියෙ සද්දෙ නෑසෙන තරමට සසල කරලා තිබ්බා. ආරක්ෂිත ගේට්ටුවක් නොතිබූ ස්ථානයකින් දුම්රිය මාර්ගය හරහා මාරු වෙන්න උත්සාහ කරනකොට අමුතු සුළං පාරක් දැනිලා මං පියවි සිහියට ආවා මට මතකයි. මට ජීවත් වෙන්න මිසක් මැරෙන්න උවමනා වුණේ නැහැ. ඒ වගේම, ඔබ දැනගන්න ඕනෙ, තදබල මිත්‍රත්වයක් ප්‍රේමයක් කියලා වරදවා වටහාගෙන තමන්ගේ හැඟීම් අස්සෙම පැටලුන මනුස්සයෙක්ට ප්‍රේමයක අති සියුම් බර දරන්නට බැරි වීම සම්බන්ධයෙන් වගේම කුඩා දැරියක කාලයේ ඇති වුණ ඇතැම් ඉතාම ගැඹුරු තුවාලවල අප්‍රකාශිත වේදනාව සුව කිරීමට තරම් පරිණත මනුස්සයෙක් නොවීම සම්බන්ධයෙන් මං ඔහුට චෝදනා කරන්නෙත් නැහැ. ඒ වගේම මං ආත්මයෙන්ම අදහපු ප්‍රේමය, අනිත් පුද්ගලයාට පිටස්තර දෙයක් වීම මට දරාගන්න පුළුවන් වුණෙත් නැහැ.

කොහොම වුණත් මං ඒ දිනපොත පිලිස්සිය යුතු බව ඒ වෙලේ තේරුණත් ඒකට හිත හදාගන්න පවා කාලයක් ගියා. අන්න ඒ කාලය ඇතුළෙදි, එකම කෝපි එකට දෙපාරක් සීනි දානවා, යතුර ගේ ඇතුළෙ තියලා දොර ලොක් කරනවා, පූජා කරන්න අරං ගිය මල් ටික කඩලා කුණු කූඩෙට දාලා නටු ටික පූජා කරන්න යනවා, හොද්දට ලුණු නොදා කන්න යනවා වගේ දේවල් ගොඩක් මම කරලා තිබ්බා.

“අද උදේ ඉඳලාම කාලා නෑ. රෑටවත් මොනවා හරි කන්න ඕනෙ” කියලා කිව්වම

“හොඳ වැඩේ ඔය වන්නියට ගියාට” කියලා අහගත්තට පස්සෙවත් බිංදුවක්වත් අඩු නොවුණ ආදරයක් වේළිලාම යන්න කාලයක් ගත වෙනවා තමයි. මගෙ හිතට සුවපත් වීමට අවශ්‍ය ස්වාභාවික කාලය මං ලබා දිය යුතු බව මම තේරුම් ගත්තා.

ඒත් එක්කම මෙන්න මේකයි කියලා කියන්න නොදන්න මා සතුව නැති යමක් අයිති කරගන්න, මේකයි කියලා නොදන්න ගවේෂණශීලී පාරක ගිහින්, මෙන්න මේකයි කියලා ඒ වෙද්දිත් තීරණය නොකරපු ජයග්‍රහණයකින් නිමා වෙන්න පෙලඹවීමක් මං තුළ ඇති වුණා. පස්සෙ කාලෙක පාවුලෝ කොයියෝගෙ සන්තියාගෝ නම් සැරිසරන්නා කියවනකොට මට තේරුණා මං වසර දහයක, ඒ බිඳ වැටීමෙන් පස්සෙ අද වෙනකල් වසර දහයක, සන්තියාගෝ ජීවිතයක සැරිසරලා තියෙන බව. ශක්තිමත් වීම හැර වෙනත් විකල්පයක් නොමැති දිනයක ඔබ කොයි තරම් ශක්තිමත්දැයි ඔබට වැටහෙනු ඇත කියලා වාක්‍යයක් තියෙන, කුඩා හුඹුවකු අත් දෙකෙන් විශාල බරක් ඔසවගෙන ඉන්න පින්තූරයක් ඒ කාලෙ මගෙ කුඩා ජංගම දුරකතන තිරයේ නිතරම දිස් වුණා.

මගෙ ඡායාරූප කලාව ගැන තිබුණ ආසාව, “ගෑනු ළමේකුට නොගැළපෙන” ඒ ආසාව මේ වෙද්දී මා ඇතුළෙන් නැඟිටිමින් හිටියා. දිරිගන්වන්නෙක් අමුතුවෙන් නොහිටියාට, ලස්සන නැති, ලාලිත්‍යවත් ගමනක් නැති, හැඩ ඇඟක් නැති, සරාගී නැති, හැමතිස්සෙම හිනාවෙන්නැති, මාර ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකක් නැති, දෑවැද්දක් නැති, මලානික ඇස් දෙකක් තියෙන කෙල්ලෙක් වෙලා ප්‍රතික්ෂේප වීම එක්ක දැනුන පුදුමාකාර අභ්‍යන්තරික හිස් වීමට ටික ටික මගේ ඡායාරූප කලාව ආදේශ වුණා. මං වැඩිපුරම කැමති වුණේ, ගෑනු ළමයෙකුට “කොහෙත්ම නොගැළපෙන” වනසත්ව ඡායාරූපකරණයට. විවිධාකාර සංවිධානවල, එකමුතුවල, අන්තර්ජාතික සංවිධානවල ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් යටතේ මම වැඩ කළා. ඇත්තටම ඒක සුවපහසු කලාපයක් නොවුණත් මගේ ජීවිතය ගොඩනැඟෙමින් තිබුණා. ඡායාරූප කලාවට අමතරව මම වීඩියෝකරණයටත් යොමු වෙන්න පටන් අරං තිබුණා. ඡායාරූපකරණය සහ වීඩියෝකරණය එකක් වගේ පෙනුනට විෂය ක්ෂේත්‍ර දෙකක්. ඒත් මම මගෙ උපරිම විභවතාවයෙන් ඉගෙනගනිමින් හිටියා. ඒ කැලෑ ගමන් මගෙ ලේ නහරවලටම කාන්දු වෙමින් තිබුණා.

ඒ වන විට ඔහුට පෙම්වතියක් හිටපු බව මට කියලා තිබ්බා. මා වෙනුවෙන් පරිස්සමෙන් ගෙදර ආවද බලන්න කෙටි පණිවිඩයක් නොතිබ්බ ඔහු ඇය වෙනුවෙන් මොන තරම් කැප කිරීම් කළාද කියලා මං දැනගත්තා. දිව්රන්න පුළුවන්, මට ඉරිසියාවක් දැනුනෙ නැහැ. ඔහුගෙ ජීවිතේ මා වෙනුවෙන් තිබ්බ තැන දෛවය ටොකු ඇන ඇන මට පෙන්නනකොට මට දැනුනෙ ආත්මානුකම්පාවක් විතරයි. හැබැයි ඒ ආත්මානුකම්පාවත් ඉවර වුණ දවසක් ආවා. ඒ ඔහුගෙ විවාහයට මාස කීපයකට කලින් දවසක්. මම වනසත්ත්ව වීඩියෝකරණය සම්බන්ධ අලුත් රැකියා කොන්ත්‍රාත්තුවක් භාරගන්න කලින් දවස. අපි අහම්බෙන් මුණ ගැහුනා, ලංකාවේ ජනප්‍රිය අවන්හල් දාමයක ඉතා සරල සාමාන්‍ය අවන්හලකදී. මම ආහාර රැගෙන පිටතට එමින් සිටියදී ඔහු ඇතුළට ආවා. සුපුරුදු පරිදි ඉතා වියළි වචන දෙක තුනක හුවමාරුවකින් පස්සෙ මම එතනින් එළියට ආවා. ටික දුරක් එනකොට මට තේරුණා මං උපැස් යුවළ අමතක කර දමා පැමිණ ඇති බව. මට ආපහු ඒ අවන්හලට යන්න සිදු වුණා. අපි ආයෙමත් හම්බ වුණා. ඒ අවන්හලේදී කවදාවත් නැති තරම් රොමාන්තික බැල්මකින් මං දිහා බලමින් ඔහු මගේ අතින් අල්ලා ගත්තා. වචනයෙන් නොකිව්වට සිප ගැනීමක්, ස්පර්ශයක් බලාපොරොත්තු වෙන බව ඒ බැල්ම මට කියන බව මට දැනුනා. මට දැනුන දේ හරි ද කියලා මං අදටත් දන්නෙ නැහැ, හැබැයි ඒ ඇස්වල බැල්ම මාව රැවටුවා වෙන්න බැහැ. නමුත් ඒ තමා මගේ ප්‍රේමයේ හැරවුම් ලක්ෂ්‍යය. ඒ ද්‍රෝහිකමට ලක්වන්නිය මම නොවීමම මගේ ප්‍රේමය, විරහව සහ ආත්මානුකම්පාව අංශක එකසිය අසූවකින් හැරවුණා. ඉතා දැඩි විරහවක්, විරාගික අරවින්දයක් බවට පත් වෙන්න ගත වන නැනෝ තප්පරය මම පසු කළා. රිදී නූලෙන් වැඩ දැමූ රතු පැහැ සාරියක් ඇඳගෙන, කිසිමාකාරයක දුකක් වේදනාවක් අපහසුතාවයක් නැතුව ඔහුගේත් ඇයගේත් උත්කර්ෂවත් විවාහ මංගල්‍යයට, මං සහභාගි වුණේ ඊට පස්සෙ.

ඊටත් වසර කිහිපයකට පස්සෙ මගේ ඡායාරූප ප්‍රදර්ශනයකට මම ඔහුට ආරාධනා කළා. මං හිතන්නෙ ඒක මගේ ජීවිතයේ අමරණීය මොහොතක්. ඉතා තදින්ම ඇද බැඳගත් යමක් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමේ සතුට මට ඔහුව ඒ ප්‍රදර්ශන භූමියේදී දැකීමත් සමඟ. ඒක මහ පුදුමාකාර හැඟීමක්. මං ඔහුව හදවතින්ම අතහැර දැමුවෙ මගෙ උපැස් යුවළ සම්බන්ධ සිදුවීමෙදි වුණත් ඒ අත්හැරීමේ සතුට මට දැනුනෙ ප්‍රදර්ශනය දවසෙ. සතුට කියන වචනෙ ඒ හැඟීමට මදිද මන්දා. පියාඹන්න හිතෙන සැහැල්ලුවක් ඒක. විරහව නිසා දුක් විඳින ඔබ මේ කතාව අහගෙන ඉන්නවා නම්, මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. හිතට ස්වභාවිකව සුවපත් වෙන්න අවශ්‍ය කාලය දෙන්න, ඔබ ඒ මහා පුදුමාකාර ප්‍රීතිය විඳින්නම ඕන.

මගේ ප්‍රේම කතාව ඉවරයි. වගකීම් නැති සැහැල්ලු යෞවනයෙනුත්, සුඛෝපභෝගී හෝටලයක පැවතුන ඔහුගේ විවාහ මංගල්‍යයේ ෆැන්ටසිමය ස්වභාවයත් අවසන් වෙලා ඔහු මහපොළවට ඇවිත් වාහන ගන්න ලෝන් දාන්න හීන මවමින් උදේ හවස බස් එකේ එල්ලිලා රැකියාව සඳහා කොළඹ යන, සීයලාගේ ඉඳලා පැවත එන පවුලේ දේශපාලන පක්ෂ‍යට ඡන්දෙ දෙන, ඉරිදාට රෙදි හෝදන, පරණ යාළුවො එක්ක මාස හයකට පාරක්වත් සෙට් නොවෙන, බැලුන් එල්ලපු උපන්දින සාදයක ඡායාරූප ෆේස්බුක් හරහා බෙදාගෙන, තෑන්ක්‍යූ ඕල් කියලා කලබලෙන් එක කමෙන්ටුවක් දාන සරල සාමාන්‍ය පහළ මධ්‍යම පාන්තිකයාගේ චරිතයට පණ පොවමින් ඉන්නවා. ඒ ජීවිතය  මම විවේචනය කරන්නෙ නැහැ. නමුත් ඒ ලෝකය මා සඳහා නොවන බව මගේ ඇතුළාන්තයේ පවතින යමක් හැමවිටම දැඩිව පැවසුවා. මුදල් පසුපස හඹා යන අධිවේගී ලෝකයක නොසැලී දෙපයින් හිටගෙන අවස්ථාවන් සහ විශිෂ්ටත්වය හඹා යන්න මං පටන් ගත්තා. වනසත්ත්ව වීඩියෝකරණය කිව්වාම ඔබට සිහියට නැඟෙන ප්‍රසිද්ධම මාධ්‍ය ආයතන දෙක තුනක් තියෙනවා නේද ? මේ ඇපල් යුෂ වීදුරුව බොන්නෙ එයින් එක් ආයතනයක රැකියාවකට වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා යන අතරෙදි !

එතකොට අර කුඩා කාලයේ සිද්ධ වුණු තුවාල දරාගෙන මගේ හදවතේ හිටපු කුඩා ගෑනු ළමයා? විරහවක තුවාල කැළැල් නම් පොඩ්ඩක්වත් නොපෙනෙන්නටම සදහටම සුව වුණත් එයා සුව වුණේ නැහැ, මිය ගියෙත් නැහැ. ඉන්න තැනම වකුටු වෙලා ගුළි වෙලා නිදාගත්තා! ඔළුව තියාගන්නවත් තුරුල් කරගන්නවත් කොට්ටයක් නැතුව! තවමත් ඇතැම් රෑ මැදක ඇය ඇහැරී හඬන්නට උත්සාහ කරනවා මට දැනෙනවා.

නිශංකා ජයසිරි

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT