අධ්‍යාපනය හදාරන දූ දරුවන්ගේ නැණ නුවණ ඉහළ නැංවීම උදෙසා පවත්වනු ලබන “ප්‍රාතිහාරී” අධ්‍යාපනික සත්කාරක වැඩසටහනේ උතුරු මැද පළාත් වැඩසටහන අනුරාධපුර ශ්‍රී රේවත ජාතික පාසලේ දී පසුගියදා සිදු කෙරිණි.
මෙම වැඩසටහන සඳහා පාසලේ 10 සහ 11 ශ්‍රේණි සිසුන් විශාල ප්‍රමාණයක් සහභාගි වූ අතර එහිදී ඔවුන් සඳහා දවස පුරා විශේෂ වැඩසටහන් රැසක්ද පැවැත්විණි. මෙහිදී දූ දරුවන් සඳහා අවශ්‍ය පොත්පත් බෙදා දීම ද සිදු කෙරිණි. සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන සිසුන් සඳහා ඉංග්‍රීසි භාෂාව සහ බුද්ධ ධර්මය යන විෂයන් සඳහා සම්මන්ත්‍රණයක් පැවැත්වූ අතර පාසලේ සමස්ත ප්‍රතිඵලය ඉහළ නැංවීම සඳහා විශේෂ අතික්‍රමණ වැඩසටහනක් ද මෙහිදී සිසුන් සඳහා සංවිධාන කර තිබිණි.
වර්තමානයේ සිසුන් මුහුණදෙන මානසික ගැටලුවලට නිසි පිළියම් ලබා දෙමින් ඔවුන්ගේ අධ්‍යාපනික කඩඉම් පහසුවෙන්ම ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය මානසික ශක්තිය ලබා දෙමින් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා ප්‍රවීන අභිප්‍රේරණ දේශක, මනෝවිද්‍යා උපදේශක ඉංජිනේරු කේ.වී. ඉරෝෂන් මහතා විසින් සම්පත් දායකත්වය ලබා දී තිබුණි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන සිසුන් සඳහා පාස් මී (PassMe) අධ්‍යාපන ආයතනයේ ආචාර්ය, තලාකොළවැවේ ධම්මවංශ හිමියන් විසින් රචිත බුද්ධ ධර්මය ප්‍රශ්න 1000ක් සහිත කෘතීන් නොමිලේ ලබා දීමක් ද සිදු කෙරිණි. මීට සමගාමීව පාස් මී (PassMe) පොත් ප්‍රකාශකයන් විසින් රචිත “ශ්‍රී ලංකාවේ ප්‍රථම පණ ඇති ගණිත පොත” නම් කෘති රැසක් පාසල් පුස්තකාලය වෙත ප්‍රදානය කිරීමක්ද සිදු කෙරිණි.
මෙම වැඩසටහන සඳහා පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයද, පාස් මී (PassMe) පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඇතුළු කාර්ය මණ්ඩලයද සහභාගි වූහ.
අනුරාධපුර අතිරේක අමිල ප්‍රභාත් වනසිංහ