රාජ්‍ය සහ පෞද්ගලික සහභාගිත්වය සහිත නව ආර්ථිකයක් ආරම්භ කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
ඊයේ (19) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසින් කාරක සභා රැසක් නියෝජනය කළ සුනිල් හඳුන්නෙත්ති මහතා, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කුඩා හා ග්‍රාමීය කර්මාන්ත නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ද කටයුතු කර ඇති මාතර දෙණියායේ උපන් හඳුන්නෙත්ති මහතා, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද අතර, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන උපාධිය ලබාගත්තේය.
ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු වන ඔහු, එහි දේශපාලන මණ්ඩල සභිකයෙක්ද වෙයි. එසේම මාතර දිස්ත්‍රික්කයේ සංවිධායකවරයාද වන සුනිල් හඳුන්නෙත්ති මහතා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයෙක් ලෙස කටයුතු කරයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවැසීය.
නව ආර්ථික වැඩපිළිවෙළට විදේශ තාක්ෂණය, විදේශ ප්‍රාග්ධනය, විදේශ කළමනාකරණ සහය අවශ්‍ය නම්, රාජ්‍ය අයිතිය සහිතව අපි ගන්නවා. මෙතෙක් අපේ රටේ අනුගමනය කළේ රාජ්‍ය පෞද්ගලික ව්‍යවසාය සංකල්පයයි. රාජ්‍ය පෞද්ගලික සහ ජනතා සහභාගිත්වය සහිත නව ආර්ථික මොඩලයක් කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙනවා.
රජයේ අයිතිය තියාගෙන කළමනාකරණයට පෞද්ගලික අංශය සහභාගි කරගෙන ආයෝජන හැටියට ජනතාව සහභාගි කරගන්න පුළුවන්. සමහර වේලාවට රජයේ අයිතිය තියාගෙන කළමනාකරණය සහ තාක්ෂණය පෞද්ගලික අංශයෙන් අරගෙන ප්‍රාග්ධනය යෙදවීම් ජනතාවගෙන් ගන්න පුළුවන්. හැකියාවන් තියෙන අය ලෝකේ ඕනෑ තරම් ඉන්නවා. විදේශ රටවලට සිටින ශ්‍රී ලාංකිකයින් බොහෝ අය අපේ රටට ආයෝජන ගේන්න බලාගෙන ඉන්නවා. මේ නව ආර්ථික මොඩලය ඇතුළේ මේ අයගේ සහයෝගිත්වය ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.“
නෙරංජලා වික්‍රමසිංහ
ඡායාරූප – සුදත් මලවීර