අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනයේ දී වත්මන් ආණ්ඩුව සෞඛ්‍ය සඳහා වන ප්‍රවේශය මහජනාවගේ මූලික මිනිස් අයිතිවාසිකමක් බවට පත් කරන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සෞඛ්‍ය ඇමැති ධුරයේ අභිනවයෙන් වැඩභාර ගැනීමේ අවස්ථාවට සම්බන්ධ වෙමින් ඇමැතිවරයා ඊයේ (19) මේ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රකාශ කළේය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
සෞඛ්‍ය සේවාව ජනතාව වෙත සමීප කිරීම, කාර්යක්ෂම කිරීම, ඵලදායි කිරීම සඳහා ව්‍යුහයක් සකස් කිරීමට කැපවීමෙන් කටයුතු කරනවා. ඒ වෙනුවෙන් සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයන් සහාය ලබා දෙනු ඇතැයි විශ්වාස කරනවා.
දකුණු ආසියාවේ සහ ලෝකයේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව උපයාගෙන තිබූ කීර්තිනාමය මෙන්ම සෞඛ්‍ය සේවාව පිළිබඳ ජනතාවගේ විශ්වාසය පසුගිය කාලය තුළ දූෂිත දේශපාලනය විනාශයට පත් කළා. තමන්ට පැවැරී ඇති ප්‍රධානතම වගකීම සහ අභියෝගය වනුයේ සෞඛ්‍ය සේවාව පිළිබඳ ජනතාවගේ විශ්වාසය යළි ප්‍රතිස්ථාපනය කිරීම සහ සෙඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිරූපය නැවත නඟා සිටුවීමයි.
වෙනදා ආතතියට ප්‍රතිකාර කරනුයේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ නිලධාරීන්. පසුගිය කාලය තුළ සිදු වූ වැරදි නිසා අද සෞඛ්‍ය අමාත්‍යාංශයම ආතතියට පත්ව තිබෙනවා.
සෞඛ්‍ය සේවාව මහජන සේවාවක් වන අතර රජයේ ප්‍රධානම කාර්යභාරය ජනතාව වෙනුවෙන් මහජන සේවාවක් ලෙස ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යෑමයි.
මෙරට ජනතාව විශාල බලාපොරොත්තුවක් තබමින් අති විශාල බහුතරයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලබාදෙමින් නව ආණ්ඩුව බලයට පත් කරන ලද්දේ රට ඉදිරියට ගෙන යෑමටයි. ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය එම වගකීම ඉතා ඉහළින් ඉෂ්ට කරනවා.
මෙරට සෞඛ්‍ය සේවාව වසර ගණනාවක ඉතිහාසය තුළ ලෝකයේ කීර්තියක් උපයාගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශාල කැපකිරීමක් සිදු කළා.
ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඊයේ උදෑසන පැවැති පළමු කැබිනට් රැස්වීමේදී මාව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කළා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ඉතා භාරධුර හා වගකීම් සම්පන්න අමාත්‍යාංශයක්. එම අමාත්‍යාංශයන්හි කාර්ය සාධන කටයුතු ඉතා ඉහළින්ම සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
සන්ධ්‍යා කරුණාරත්න
ඡායාරූය – දුෂ්මන්ත මායාදුන්න