පුද්ගලයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිර කර තබාගෙන අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව නාවික හමුදා මූලස්ථානයේ සේවයේ නිරත නාවික හමුදා කපිතාන්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරින් විසින් පෙරේදා (18) අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇති නාවික හමුදා කපිතාන්වරයා ගිරිඋල්ල මාහරගම පදිංචිකරුවකු වන 48 හැවිරිදි වියේ පසුවන්නෙකි. මෙම අපරාධය සිදුව ඇත්තේ 2010 වසරේ ජූලි 26 වැනිදා හෝ ඒ ආසන්න දිනයකදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අලව්ව පොලීසියේ එවකට අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පසුගිය වසරේ දෙසැම්බර් 11 වැනිදා මීරිගම පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ජූනි 04 වැනිදා ද මේ සම්බන්ධයෙන් මෙම අපරාධය සිදු වන වකවානුවේ අලව්ව පොලීසියේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරින් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත. එම නිලධාරින් දෙදෙනා සැරයන්වරු දෙදෙනෙකි. මෙම නිලධාරින් තිදෙනාම මේ වන විට සිටින්නේ ඇප මතය. කටුපොත වජිරවත්තේ පදිංචිව සිටි ගනේරාලලාගේ ශාන්ත සමරවීර නමැති පුද්ගලයකුව නීත්‍යනුකූල නොවන ලෙස අත්අඩංගුවට ගෙන අයුතු ලෙස සිර කර තබාගෙන අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් තිදෙනා හා නාවික හමුදා කපිතාන්වරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූලස්ථානයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත. අතුරුදන් වූ පුද්ගලයාට වූයේ කුමක්දැයි මෙතෙක් හෙළි වී නැත. සැකකාර පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගනු ලබන්නේ ද එම සිදුවීමෙන් වසර 13කට පසුවය.
ගයාන් කුමාර වීරසිංහ