අරගලකරුවන් විසින් 2022 වසරේදී කොළඹ, කොටුව පිහිටි ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේදී එහි තිබී සොයාගෙන පොලීසියට භාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්ෂ පනස්දහසකට අධික මුදලක් මහජන ආරක්ෂක ඇමැතිවරයාට ලබාදෙන ලෙස උපදෙස් දීම මඟින්, සාපරාධී විශ්වාසය කඩ කිරීමට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් එවක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය… ඉදිරියේ ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් බල රහිත කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19) අවසර ලබා දුන්නේය.
එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාමරයේ තිබී සොයාගත් එම මුදල සම්බන්ධයෙන් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා විසින් 2003 වසරේදී ගොනු කර තිබූ අභියාචනා පෙත්සමක් සම්බන්ධයෙන් මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම අවසරය ලබා දෙන ලදි.
අදාළ පෙත්සම ජූනි මස 12 වැනිදා විභාගයට ගැනීමට නියම කෙරිණි.
ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි. එහිදී පෙත්සම්කාර මහින්ද ජයසිංහ මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සඳහන් කළේ 2022 වසරේ ජූලි මස 09 වැනිදා කොටුව, ජනාධිපති මන්දිරය වැටලූ අරගලකරුවන් විසින් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාමරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලකෂ පනස්දහසකට අධික මුදලක් සොයා ගත් බවය. එම මුදල් කොටුව පොලීසිය වෙත භාර දීමට ඔවුන් කටයුතු කළ බව ද ඒ මහතා සඳහන් කළේය.
එවක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් කථා කර එම මුදල් ඒ වන විට ඇමැතිවරයකු ලෙස කටයුතු කළ ටිරාන් අලස් මහතාට භාරදෙන ලෙස දැනුම් දී ඇති බව සඳහන් කළේය.
ඒ පිළිබඳ කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා සටහන් යොදා ඇති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
පොලීසිය භාරයට ගනු ලැබූ මුදල් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ඔහු සඳහන් කළේය. එම මුදල් අධිකරණයට ඉදිරිපත් නොකොට ඇමැතිවරයාට භාර දෙන ලෙස දැනුම් දීම තුළින් දේශබන්දු තෙන්නකෝන් මහතා සාපරාධී විශ්වාසය කඩකිරීමකට ආධාර අනුබල දීම සිදුකර ඇති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
එම සිද්ධිය මඟින් සාපරාධී විශ්වාසය කඩකිරීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් පෙත්සම්කරු, දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කරමින් පුද්ගලික පැමිණිල්ලක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
එම පැමිණිල්ල සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කර ඔහුට සිතාසි නිකුත් කළ බව ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය. එය අභියෝගයට ලක් කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර එහි තීන්දුව ලබා දෙමින් ඒ අදාළ සිතාසිය සහ පුද්ගලික පැමිණිල්ල බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් තීන්දුවක් ලබා දුන් බව ඒ මහතා සඳහන් කළේය.
අභියාචනාධිකරණයේ එම තීන්දුව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි වන බැවින් එය අහෝසි කරන ලෙස ඉල්ලා මෙම අභියාචනා පෙත්සම ගොනු කළ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ මෙම සිද්ධිය හරහා අපරාධමය වරදක් ඇති නොවන බවය.
ඒ වන විට ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කළ අතර පොලීසිය මඟින් භාරගත් මුදල් ඇමැතිවරයා වෙත භාර දෙන ලෙස දැනුම් දීම අපරාධමය වරදක් වන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය.
එම මුදල් පසුව අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
අභියාචනාධිකරණ තීන්දුව නිවැරදි බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඊට එරෙහිව ගොනු කර ඇති මෙම අභියාචනා පෙත්සම පවත්වාගෙන යෑමට හැකියාවක් නැති බව පෙන්වා දුන්නේය. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාගට ගැනීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.
නෙල්කා මැදගෙදර