ලබන 22 වැනිදාට පෙර ජාතික ලැයිස්තු ධුර හිමි මන්ත්‍රීවරුන්ගේ නම් කොමිසම වෙත එවිය යුතු වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. පසුගිය 16 වැනිදා සිට දින හතක කාලයක් තුළ නම් එවිය යුතු වන බව අවධාරණය කළ ඒ මහතා එසේ නැති වුවහොත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා හිමිකම් පෑමට ඉඩක් නැති බව ද කියා සිටියේය. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සභිකයන් නම් කිරීම මේ වන විට අභ්‍යන්තර අර්බුදයක් දක්වා ඔඩුදුවා ඇති අතර ඒ සම්බන්ධයෙන් ‘දිනමිණ’ සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ජාතික ලැයිස්තුවෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ආසන 2ක් සහ සමගි ජන බලවේගයට ආසන 5ක් හිමි විය.
පසුගිය මහමැතිවරණයෙන් ඒ ඒ දේශපාලන පක්ෂවලට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නියෝජිතයන් නම් කිරීම අර්බුදයකට ලක්ව ඇත්තේ ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහමැතිවරණයට තරග කළ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගය පක්ෂවලින් වන අතර පෙරේදා දිනයේදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවි කරුණානායක මහතාගේ නම පක්ෂයේ මහ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව යොමු කිරීමත් සමඟ එම අර්බුදය උත්සන්න විය.
එහෙත් ඔහුගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා යොමු කර ඇත්තේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පක්ෂවල සහ තමාගේ කිසිදු අනුමැතියකින් තොරව අත්තනෝමතික ආකාරයකට බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පෙරමුණේ නියෝජිතයන්ට දැනුම් දී තිබිණි.
ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ශ්වකරුවන් කොළඹදී රැස්වී රවි කරුණානායක මහතා නම් කර යැවීම ඇතුළු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධ ගැටලුව පිළිබඳ සාකච්ඡා කර තිබුණ ද අවසන් තීරණයකට එළැඹ නැත.
රවි කරුණානායක මහතාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පිළිගනිමින් ජාතික මැතිවරණ කොමිෂන් සභාව මඟින් ගැසට් මඟින් ඊයේ වන විට ප්‍රසිද්ධ කර තිබිණි.
සුභාෂිණී සේනානායක