ළමා දිනය අප සමරන්නේ ඔක්තෝබර් පළමුවැනිදා වුවද ලෝකය ඒ සඳහා ලබාදී ඇත්තේ අද දවසය. ලෝකයා සතු මහානර්ඝ සම්පත වූ ළමා කැල වෙනුවෙන් දිනයක් නම් කිරීම සඳහා පළමුවරට කටයුතු කරන්නේ, අමෙරිකා එක්සත් ජනපදයේ චාල්ස් ලෙනාර්ඩ් පියතුමාය. 1857 වසරේ ජූනි මස දෙවැනි ඉරිදාව, දරුවන් වෙනුවෙන් සැමරීම සඳහා හෙතෙම උත්සුක වන්නේය. පළමුව එතුමාණෝ මේ දිනයට නම දුන්නේ රෝස දිනය කියා වුවද එය පසුකලෙක මල් දිනය වී ඇත්තේය.
ලෝකය පුරා ළමා දින කතාව ගලා ගියේ හෙයින්, එක් එක් දින ගෙන, ඒ සඳහා සැමරුම් ලෝකයේ බොහෝ රටවල් සිදු කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මේ වැඩේට අත තබන ලද්දේ ළමා අයිතිවාසිකම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමිනි. එහිදී ළමා දිනය ලෙස නොවැම්බර් 20 වැනිදාව සම්මත වූ හෙයින්, ළමා දිනය ලෙස ලෝක සම්මතයට පාත්‍ර වී ඇත්තේ අද දිනයය. අවශ්‍ය රටකට තමන් රුචි දිනයක්, දරුවන් සැමරීම සඳහා ලබාදී ඇත්තේ හෙයින් ශ්‍රී ලංකාව ඔක්තෝබර් පළවැනිදා සේ එක් එක් රටවල් තමන්ගේ සිතැඟි පරිදි ඒ සඳහා දින යොදාගෙන ඇත්තේය.
ජීවිතයේ ගතවෙන හැම දිනයක්ම දරුවන් වෙනුවෙන් වෙහෙස වෙන මේ රටේ මවුපිය වැඩිහිටි පරපුර, වසර තුන්සිය හැටපස් දවසම ළමා දින ලෙස සලකා සේවය කරන්නේය. ලෝකයේ අන් කවර ස්ථානයක හෝ දැකිය නොහැකි තරමට අපේ සමාජය ළමා කේන්ද්‍රීය වන්නේය. සියල්ල කරන්නේ දරුවන් වෙනුවෙන්ය, යන්න මේ රටේ වැඩිහිටි පරපුරේ සැමදා කතාවය. පෙර පරම්පරා ගණනාවක් මෙන්ම වත්මන් වැඩිහිටි පරම්පරා ද ඒ ආදර්ශයේ යන්නේ හෙයින්, මේ රටේ ළමයා යනු අධි සංවේදී කලාපයකි.
දේශපාලනයෙන් මාස ගණනාවක් කන් පුරවාගෙන සිටින්නේ හෙයින් බොහෝ මාතෘකා, අප නොදැනම දැන් ඇත්තේ අපගේ ඇස් මානයෙන් ඉවතය. පෙරේදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය ප්‍රකාරව ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ලකුණු කිරීම සහ එහි ප්‍රතිඵල නිකුත් කිරීම දැන් නතර කර ඇත්තේය. අධිකරණයේ තීන්දු සම්බන්ධයෙන්, අප විවේචක ආස්ථානයක් කරා යොමු වන්නේ නැත. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සඳහා, හැම එකාම කට ගහගෙන ගියහොත්, ඒ වැඩේ ද මහ පාරට වැටෙන්නේය. එසේ වුවත් මේ රටේ දරුවන් වෙනුවෙන් අපට ද අදහසක් ඇත්තේ බැවින් ලෝකයමැ ළමා දිනය සමරන අද දිනයේ ශිෂ්‍යත්වය ලක්ව ඇති ඉරණම පිළිබඳව මේ තීරුව සිය අවධානය යොමු කරන්නේය.
ශිෂ්‍යත්වය උපන්නේම, මේ රටේ සම්පත් බෙදී යෑමේ විෂමතාව හේතුවෙනි. සැමට සම ප්‍රතිලාභ ආකාරයට, සම්පත් බෙදා දීම සඳහා උත්සාහ ගන්නවා වෙනුවට, ඇති ස්ථානය කරා තරගයක් ලබාදී දරුවා යොමු කිරීමේ පහසු ක්‍රමවේදයක් ලෙස ශිෂ්‍යත්වය හඳුනාගත හැක්කේය. මේ ආකාරයට පිටාර ගලා යන්නේ අධ්‍යාපනය විෂයයෙහි සමාජය පෙළෙන අසහනයකි.
සියලු පාසල්, කොළඹ හතේ පාසල් බවට පත්කළ නොහේ වුවද, ඒ ආකාරයේ පාසල් සියයක් පමණ තදාසන්න කලාප හඳුනාගෙන වසර තිහක් පුරා ගොඩනැඟුවේ නම්, ශිෂ්‍යත්වය, එතැනම බ්‍රේක් ගසා නතර වෙනවා ඇත. මේ රටේ අධ්‍යාපනය ගැන කයි කතා ඇතිවෙන්නට අසා ඇත්තේ මුත්, පළමුව විසඳිය යුතු ඒ ගණයේ ප්‍රශ්න සඳහා හෝ පිළිතුරක් මෙතෙක් අප අත්දැක්කේ නැත. ඒ වෙනුවට ජාත්‍යන්තර පාසල් සඳහා සමාගම් පනත යටතේ හෝ ආයෝජන මණ්ඩල ගිවිසුම් යටතේ අවසර ලබාදීම සඳහා පාලක දනා වෙහෙස ගත්තේය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආදිය ඇති කිරීම සඳහා දිවා රෑ උඩු බුරන අධ්‍යාපනය භාර පිරිස, සකල දරු සම්පතටම පොදුවූ මෙවන් කාරණයක් සම්බන්ධයෙන් දරන ලද්දේ අල්ප වෙහෙසකි.
ගම් දනව්හි ද සම්පත් බහුල පාසල් ඇත්තේය. ඒවා සඳහා අඛණ්ඩ පහසුකම් කොළඹ පාසලකට මෙන් සපයන්නේ නැති හෙයින්, කාලයකට හොඳ සහ දැන් නම් ගන්න දෙයක් නැහැ, යන ස්ථාවර සඳහා ඒවා විටින්විටේ පත් වන්නේය. 10096 ක් වූ ශ්‍රී ලංකාවේ පාසල් ප්‍රමාණයේ, දරුවෝ තිස් නව ලක්ෂය ඉක්මවා ගිය ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරති. මේ වර්ගඵලය තුළ සහ මාපිය මානසිකත්වය ද සලකා බලා ප්‍රතිසංස්කරණ සඳහා යන්නේ නම් අධ්‍යාපනයේ ඇති මෙම අසහනය අවම කළ හැක්කේය.
ඒ විසඳුම වසර හැටකට වැඩි කාලයක් බලා සිට,නොකෙරෙන කාරණා මත්තේ අපගේ දරුවන්ගේ අනාගතය බහා තැබිය නොහැකි හෙයින්, පොඩි එකා ශිෂ්‍යත්වයෙන් පාස් කර ගැනීම සඳහා යොමු කිරීම වැදගත් බව සමාජ සම්මතය බවට පත්ව තිබේ. කතාව ඇත්තය. එය ළමා කාලය සඳහා වසර දෙකක් පුරා දමන යදමක් වැනිය. මවුපියෝ ද ඒ දෙවසරේ පුදුමාකාර දිවිල්ලක සිටින්නාහ. දැන් සිදුව ඇත්තේ ඒ මත්තේ තව අවුලක් පහත්වීමය. ප්‍රශ්න පත්‍ර ක්‍රියාවලියේ එක් ස්ථානයක සිදුවූ වරද හේතුවෙන් පීඩා විඳින්නේ පුංචි එවුන් සහ නැති බැරි පන්තියේ අම්මා තාත්තාය. අවුලක් ඇතිවීම සඳහා ආණ්ඩුව කමිටුවක් මඟින් තීරණයක් ගත්තේය. මෙම තත්ත්වය සඳහා හොඳම පිළියම ඇත්තේ එතැනය. කාන්දු වූ ප්‍රශ්න කිහිපය සඳහා සම ලකුණු ලබාදී, එතැන් සිට ඉදිරිය බලා යෑම යෙහෙකි යන්න, සෑහෙන සාධාරණ කතාවකි. එහි අනෙක් අන්තය ඇත්තේ ශිෂ්‍යත්වය යළි පවත්වමු යන ඉල්ලීමේය. මේ අතර විසඳුම් නැත්තේ හෙයින් දෙකෙන් එකක් තෝරාගත යුතුය. එසේ තෝරාගත යුත්තේ, විභාගය ලියූ රෝස මනස් වික්ෂිප්ත නොවන ආකාරයටය. දැන් වැඩේ කරකැවෙන ආකාරයට ළමා මනස සලිත වන්නේය.
ප්‍රතිඵල අත්හිටුවන බව නිවේදනය කළ කල්හි දරුවෝ යළිත් ත්‍රාසයට පත් වෙති. අවසන් තීන්දුව කාන්දු වූ ප්‍රශ්න සඳහා ලකුණු ලබාදීම විය හැකිය. ඒ සඳහා මේ ආකාරයෙන් ළමා මනස් වධ බන්ධනයට ලක් කිරීමේ අයිතියක්, වැඩිහිටි අප කිසිවෙක් හට නැත. ළමා ලෝකයට, අප සිදු කළ අසාධාරණයක් වූ අධ්‍යාපනයේ සම අයිතිය අහිමි කිරීම, දැන් ශිෂ්‍යත්ව විභාගය හෝන්දු මාන්දු කිරීම දක්වා ගෙන ගොස් ඇත. එවන් බරක් ළමයා පිට පටවන කල්හි එක් දරුවෙක් වෙත හෝ ආපත්තියක් සිදුවුවහොත්, මේ තීන්දු ගන්නා, කිසිවෙක් ඒ සඳහා වගනොකියන්නේය. මේ නිසා වැඩේ ඇදගෙන යනවා වෙනුවට පහසු විසඳුම කරා, සරල ආකාරයෙන් යන ලෙස අප ඉල්ලා සිටින්නේය.