Home » ජාතික ජන බලවේගය උතුර ජය ගැනීම තරමක් අසාමාන්‍ය සිදුවීමක්

ජාතික ජන බලවේගය උතුර ජය ගැනීම තරමක් අසාමාන්‍ය සිදුවීමක්

-ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ

by sachintha
November 19, 2024 1:10 am 0 comment

මහමැතිවරණයේදී ජාතික ජන බලවේගය උතු‍රු පළාත ජයග්‍රහණය කිරීම තරමක් අසාමාන්‍ය සිදුවීමක් බවත්, ජනාධිපතිවරයා ඉදිරිපත් කළ වැඩපිළිවෙළට උතුරේ ජනතාවගේ සහාය ලැබීම ජාතිවාදය සහ බෙදුම්වාදය තීරණාත්මක ලෙස පරාජය කිරීමක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) කොළඹදී මාධ්‍ය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“උතුරේ දෙමළ ජනතාව බෙදුම්වාදයට පක්ෂපාත ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රතික්ෂේප කර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට සහාය දක්වා තිබෙනවා. එමඟින් ඔවුන් තමන් ජාතිවාදයට මෙන්ම බෙදුම්වාදයට විරුද්ධ බව ප්‍රකාශ කර තිබෙනවා. ද්‍රවිඩ ජනතාවගේ මේ පණිවිඩය නිවැරදි ආකාරයෙන් කියවාගැනීම කළ යුතුයි.

කැනේඩියානු දෙමළ සංගමය වැනි ඩයස්පෝරා සංවිධාන නැවත ජාතිවාදී, බෙදුම්වාදී ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ සූදානමක් තිබෙනවා. ආණ්ඩුව ඒවා සංතර්පණය කිරීමට යොමු නොවේය කියා අපි බලාපොරොත්තු වෙනවා. ඒකීය රාජ්‍යයක් තුළ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ අයිතිවාසිකම් සමාන ලෙස ඉටු කරන ගමනක් යෑම ආණ්ඩුවට ලැබී තිබෙන ජනවරමෙන් බලාපොරොත්තු වන දෙයක්. ඒ අතර ආර්ථික අර්බුදය කඩිනමින් විසඳා සියලු ජනතාවට සාධාරණය ඉටු කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා.

ප්‍රභූ දේශපාලන පෙළැන්තිය මහජනතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. නිර්ප්‍රභූ කඳවුරකට රටේ දේශපාලනය බලය ලැබීම අපි ධනාත්මක දෙයක් විදියට දකිනවා. මාලිමා ආණ්ඩුව සියලු ජනතා අපේක්ෂා සාධාරණ ලෙස ඉටු කරන ගමනක් යනවා නම් ඒ දෙස සුබවාදීව බලන්න අපි කැමැතියි.

ගෝඨාභය රාජපක්ෂ පාලනය ජනතා අපේක්ෂා ඉටු කිරීමට අසමත් වුණා. ඒ ගැන ඇති වූ කලකිරීම සහ සාම්ප්‍රදායික පක්ෂ කඩාවැටීමට උත්තරයක් විදියට ජාතික ජන බලවේගය තෝරාගෙන තිබෙනවා. ආණ්ඩුව පිළිබඳ ජනතාව එකිනෙකට ප්‍රතිවිරුද්ධ සහ සමාන බලාපොරොත්තු රැසක් තබා තිබෙන බව මහමැතිවරණ ප්‍රතිඵලයෙන් කියවෙනවා. පාලනයේ පැවැත්ම ඒවා ඉටු කරන ප්‍රමාණය අනුව රඳා පවතිනවා. ආණ්ඩුව කඩාවැටෙයි කියන කාලකණ්ණි සතුටක් ලබන්න අපි අපේක්ෂා කරන්නේ නෑ. නමුත් ජනතා අපේක්ෂා ඉටු කරන ගමනක ආණ්ඩුව නිරත වෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. කිසියම් ආකාරයකින් ආණ්ඩුව ඒ මාර්ගයෙන් බැහැර වෙනවා නම් පොදු ජනතාව පෙළගැස්වීමට අපි සූදානම්.”

චන්දන ජයවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT