ආණ්ඩුව නිවෙසක් නම්, එහි සාලය මැද්දාවේ ඇති, කැබිනෙට්ටුවට, ඇමැති මණ්ඩලය සම්මාන වේ. ඒ කාලයේ නිවෙසක, සාලය මැද්දේ කැබිනෙට්ටුව තබන ලද්දේ ආඩම්බරය සඳහා ය. ගෙදර ඇති අනර්ඝ තත්ත්වයේ පිඟන් කෝප්ප, කුසලාන, සම්මාන, වීදුරු බඩු ආදිය පිළිවෙළකට කැබිනෙට්ටුවේ අසුරා තිබුණි. එහි උඩින් සහ පැත්තෙන් මඟුල් පොටෝ හෝ ගෙදර අයගේ ඡායාරූප ආදිය ද රාමු කරන ලදුව එල්ලා තිබුණි. නිවෙසට පැමිණෙන අයට, සිය තත්ත්වය කියා පෑම සඳහා කැබිනෙට්ටුව එක්තරා ආකාරයක නිරූපණ කාර්යයක් ඉටු කළේය. එතෙර ගොස් පැමිණි අයගේ කැබිනෙට්ටුවේ, සිටිය රටේ සංකේත බහුලව තිබුණි. ඩුබායි ලකුණු ඇති බඩු පේන්න තබා ඇති විට, ඒ පවුලේ කවුරුන් හෝ මැදපෙරදිග සිටින බව සාලයට යන අපගේ මනසට එන්නේය. සමහර කැබිනෙට්ටු, හිස් විස්කි බෝතල් ප්රදර්ශනාගාරයක් වැනිය. බඩු සහිත බෝතල් සහ කොට ද පැත්තක ඇත්තේ වුවද බහුතරයක් හිස්ය. එය දකින කල්හි ඒ ගෙදර මූලිකයාගේ බේබදු රුචිය පිළිබඳ චිත්‍රයක් මතු වන්නේය.
ආණ්ඩුවක කැබිනෙට්ටුව දුටු කල්හි ද, ඒ ආකාරයට, රටේ තත්ත්වය කිව හැකිය. එක්තරා කාලයක මේ රටේ කැබිනෙට්ටුවේ, ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගෙන් විශාල පිරිසක් සිටියහ. වෙනදාට කැබිනෙට්ටුව රැස්වෙන කාමරය වෙනුවට සම්මන්ත්රණ ශාලාවක් කැබිනට් රැස්වීම සඳහා වුවමනා වෙන තරමට තත්ත්වය දරුණු අතට පත්ව තිබුණි. කැබිනට් මණ්ඩලය සඳහා ඇමැතිවරු පත් කරන ලද්දේ විෂය දැනුම හෝ අත්දැකීම් අනුව නොව, ඒ ඒ අයගේ දේශපාලන බැලන්ස් එක බලාය. එක්තරා කාලයක, නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන නම් ඇමැති ධුරයක් රටේ විය. අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණය අනුව එම අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කාර්යය වනුයේ සරසවි ශිෂ්‍යයන් පාරට බැස උද්ඝෝෂණ කරන කල්හි, ජලය ගසා එළවා දැමීමදැයි, යන ප්රශ්නය ජනයා වෙත ඇතිවිය.
ආණ්ඩුව පැත්තට, විපක්ෂ මන්ත්‍රීවරු පන්නා ගැනීම සඳහා දෙන ලද අල්ලසක් ලෙස ද කැබිනට් ඇමැතිකම් ක්‍රියා කළේය. ඒ ආකාරයට පනින ලද අයෙක් වෙත දීමට ඇමැතිකමක් තිබුණේ නැති හෙයින් සීනි පිළිබඳ අමාත්‍යාංශයක් අටවා, ඔහු වෙත ලබාදීමට සිදු විය.
ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් යටතේ කැබිනට් මණ්ඩලය යනු විධායක බලයේ කොටසකි. විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර සම්බන්ධය ද පරිපාලනය ද කැබිනට් මණ්ඩලය මඟින් සිදු වන්නේය. මේ අනුව රාජ්‍යයේ කොඳු නාරටිය ලෙස ක්‍රියා කරනුයේ කැබිනට් මණ්ඩලය ය. එහෙව් කැබිනෙට්ටුව විෂය පථය අනුව නොව දේශපාලන බල තුලනය දෙස පමණක් බලා අටවා ගත් කාලයක් තිබුණි. කැබිනට් ඇමැති තනතුරක්, අයෙක් වෙත ලබාදුන් විට, දිස්ත්‍රික්කයේ තවත් කිහිප දෙනෙක් එය සලකනුයේ තමන් වෙත සිදු කළ දේශපාලන අභියෝගයක් ලෙසය. මේ නිසා බැලන්ස් එකක් ගසා ගැනීමට, රාජ්‍ය ඇමැති ධුර ද, ඊට අඩු පහේ ලංසුවෙන් වැඩේ බැලන්ස් කර ගැනීම සඳහා නියෝජ්‍ය ඇමැති පට්ටම් ආදිය ද ලබාදීමට පැරණි ආණ්ඩු කටයුතු කළේය. මේ නිසා මන්ත්‍රීවරුන්ට වඩා ඇමැතිවරු ගාණ වැඩි වූ ආණ්ඩු, රටේ පැවතියේය.
මේ ආකාරයට කැබිනට් මණ්ඩලය දෙස බලා සිටින ජනයා, සාලය මැද්දේ ඇති කැබිනෙට්ටුවෙන්, ගෙදර මිනිසුන්ගේ වත් පොහොසත්කම්, සිතුම් පැතුම් බලා කියා ගත්තා සේ රටේ ආණ්ඩුවද මැන ගත්තේය. පැවති ආණ්ඩු, ජනයාට එපා වූයේ ඔය වැනි කැබිනට් ද දකින සඳ ය. අනෙකාගේ ඇමැතිකම්, කැබිනට් මණ්ඩලයේ අයට ද එකවර කියාගත නොහැකිය. ඒ තරමට ඇමැතිවරු බහුලය. අනෙක් අතට ඇමැති නාම විජ්ජුම්බරය. මෙගා පොලිස් නම් අමාත්‍යාංශයක් පිහිටවූ කල්හි මිනිස්සු එම අමාත්‍යාංශයට, පොලිසියේ වැරදි ගැන පැමිණිලි කළහ. නම අනුව එසේ වූවාට අමාත්‍යාංශයේ විෂය පථයේ තිබුණේ නාගරික සංවර්ධන විෂය ය. වසර ගණනාවකටම එම අමාත්‍යාංශය සිදු කළේ පාරේ කහ ඉරි, සුදු පැහැයට හැරවීම පමණය.
පොර අල්ලා ඇමැතිකම් ගත් පසුව, අදාළ අමාත්‍යාංශය පවුලේ බූදලයක් බවට පත් වන්නේය. අමාත්‍යාංශය යටතේ ඇති සංස්ථා මණ්ඩල ආදිය සඳහා පළමුව නෑ සිය හිතවතුන් පත් කරන්නේය. ඇමැති කාර්යය මණ්ඩලය සඳහා පවුලේ පිරිස් පත් වන්නේය.
මේවා කාලයක් තිස්සේම රටේ විවේචනයට භාජනය වූයේ නමුදු පැමිණි සෑම ආණ්ඩුවක්ම, විවේචනයට ගරු නොකර, පුරුදු පරිදි අඩව්ව ඇල්ලුවේය. දැන් පැත්තකට වී ‘වෙච්ච දෙයක්’ යැයි බලාගෙන සිටීමට වී ඇත්තේ, මේ සඳහා ජනයා ලබාදුන් සැර පිළිතුර හේතුවෙනි. ඇඬෙන්නම වැඩේ දී ඇති හෙයින් දැන් හැදෙන්නට කාලයක් ඇත්තේ ද නැත. වැඩේ වෙන විදිහ බලාගෙන සිටීමේ සීමාවේ දැනට නතර වී සිටීමට සිදුව ඇත්තේ, අනුන් පෙරළූ බාල්දි නොව තමන්ම ඔළුවේ දමා ගත් බේසම් නිසාය.
කැබිනට් මණ්ඩලය පත්කිරීම් පවා නිසි ආකාරයට නොකළ ආණ්ඩු සඳහා ඊයේ නව ආදර්ශයක් ලැබුණි. සංඛ්‍යාවෙන් එය ජනතාව වෙත සපථ කළ පරිදිම විසි පහට අඩුය. විෂය බෙදා වෙන් කරන ලද ආකාරය පිළිවෙළය. ආරම්භය ඒ ආකාරයේ සතුට දනවන්නක් වුවද, අභියෝගය ඇත්තේ, එය පවත්වාගෙන යෑමේය. ජනතාව බලය ලබාදී ඇත්තේ මදි නොකියන්න බව සිහියේ තබාගෙන, මේ ආණ්ඩු මැද්දේ ඇති කැබිනෙට්ටුව අඛණ්ඩව සිය අලංකෘතභාවය රකිනු ඇතැයි ‘දිනමිණ’ අපේක්ෂාවය.