Home » සිවු යහළුවන්ගේ යාන්ත්‍රික විප්ලවය

සිවු යහළුවන්ගේ යාන්ත්‍රික විප්ලවය

by sachintha
November 19, 2024 1:56 am 0 comment

ව්‍යවසායකයන් රටට සම්පතකි. ඇත්තෙන්ම රටක දියුණුවට ද ඔවුන් අත්‍යවශ්‍ය කොටසකි. කුඩා පරිමාණ ව්‍යාපාරයකින් තම ගමන අරඹා ටිකෙන් ටික ගොඩනැඟෙමින් බොහෝ බාධක හමුවේ දිනක ඔවුහු ජය ගනිති. ඇතැම්හු තම සන්නාමය ලංකාවේ පමණක් නොව ලෝකයටම ගෙන යෑමට ද කැපවෙති. ‘විස්කම්’ පිටුවෙන් අප එවැනි ව්‍යවසායකයන් ගැන තොරතුරු ගෙන එන්නේ ද ඔවුන්ව දිරිගැන්වීමට ම පමණක් නොව ඒවා බලන පාඨකයන්ට ද ව්‍යවසායකයකු විය හැකියි යන උත්තේජනය ලබා දීමටයි.

සුළු පරිමාණ ව්‍යාපාරයකදී බොහෝ විට යන්ත්‍ර සූත්‍ර නැති තරම්ය. ඒ ආරම්භයේදී ව්‍යවසායකයන්ට යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීමට තරම් වත්කමක් නැති බැවිනි. අවශ්‍යතාව අනුව කුඩාවට අමුණාගත් යන්ත්‍ර සූත්‍ර භාවිත කළ ද ඒවා ද අඩු කාර්යක්ෂමතාවකින් යුක්තය. ටිකෙන් ටික තම ව්‍යාපාරය ගොඩනැඟෙමින් එද්දී ඉල්ලුමට සැපයුම කළ නොහැකි වන විටදී ව්‍යවසායකයන්ගේ අවධානය යන්ත්‍ර සූත්‍ර කෙරෙහි යොමු වන්නේ තරගකාරි වෙළෙඳපොළට ඔරොත්තු දීමටයි. කෙසේ වෙතත් එවැනි අවස්ථාවලදී බොහෝ යන්ත්‍ර සූත්‍ර පිටරටවලින් ආනයනය කිරීමට සිදු වන අතර ඊට වැය වන මුදල ද අතිවිශාලය.

අද ‘විස්කම්’ වෙතින් කියන්නට යන්නේ ද ඊට විසඳුම් සපයන තරුණයන් සිවුදෙනකු ගැනය. විවිධ නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයන් ගැන බොහෝ කතා කළ ද ඔවුන්ට ඉඩක් වෙන් වන්නේ ඉතා අඩුවෙනි. මොවුන් ව්‍යාපාරික ලෝකයේ තිරය පිටුපස සිටින චරිත ලෙස ද හැඳින්වීමට හැකිය.

‘විස්කම්’ වෙතින් අද අප එම තිරය පිටුපස සිටිනා චරිත ගැන කතා කරන්නේ ඔවුන්ගෙන් දැනටමත් ව්‍යාපාරික ලෝකයට විශාල සේවයක් ඉටු වන නිසාය. තරිඳු අචින්ත ගුණසේන, ලාල් රූපසිංහ, හිරුෂාන් සෙනෙවිරත්න, ජනිත් භානුක හිරිමුතුගොඩ යන මෙම තරුණයන් සිවුදෙනා එක්ව ව්‍යවසායකයන්ට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සෑදීමේ ව්‍යාපාරයක් අරඹන්නේ 2020දීය. මෙම තරුණයන් අවුරුදු 29ත් – 30ත් අතර වයස්වල පසුවන්නන්ය. මොවුන්ගෙන් තිදෙනකු ඉංජිනේරුවන් වන අතර අනෙක් තරුණයා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙකි. කුඩා කල සිටම මිතුරන්ව සිටිනා මොවුන් සිවුදෙනා එක්ව ඇරඹූ මෙම ව්‍යාපාරය අද වන විට බොහෝ ව්‍යවසායකයන්ට මෙන්ම කර්මාන්තශාලාවලට යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරනා විශ්වාසදායි තැනක් බවට පත්ව තිබේ.

ලාල් රූපසිංහ තරුණයා තම ව්‍යාපාරය ගැන අපට මෙසේ කීවේය.

“යාළුවෝ හතරදෙනෙක් එක්ක එකතු වෙලා තමයි අපි මේ ව්‍යාපාරය ආරම්භ කළේ. ඇත්තටම මේකට ගොඩක් මුල් වුණේ තරිඳු අචින්ත කියන යාළුවා. අපි ව්‍යාපාරය ආරම්භ කරල අවුරුදු දෙකකදි වගේ තරිඳු අචින්ත රිය අනතුරකින් අපෙන් සමුගන්නවා. ඊට පස්සේ අපි ගොඩක් මානසිකව වැටෙනවා. ආයෙත් අපි තරිඳු වෙනුවෙන් එයා ආරම්භ කරපු මේ ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන්න ඕන කියලා දැඩි කැපවීමකින් වැඩ කරන්න ගත්තා.

Òඅපි ව්‍යවසායකයන්ට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සෑදීම තමයි සිදු කරන්නේ. ඒ වගේම අපි ඉංජිනේරු උපදේශන සේවාවත් සිදු කරනවා. අපෙන් ඉල්ලන ගොඩක් යන්ත්‍ර සූත්‍ර ලංකාවෙ නෑ. ඒව පිටරටවලින් ගෙන්නන්න ගියාමත් ලොකු වියදමක් යනවා. ඉතින් ඒ නිසා ව්‍යවසායකයෝ අපි ළඟට එන්නේ ඒ යන්ත්‍ර සූත්‍ර හදාගන්න. අපි මුලින්ම හදන්නේ කාර්යක්ෂමතාව උපරිම වෙන විදිහට නිෂ්පාදන එක් තැනක සිට තවත් තැනකට ගෙනියන ස්වයංක්‍රිය පද්ධතියක්. මේ පද්ධතියේදී එම නිෂ්පාදනවල බර මැනීම, ඒවායේ යම් යම් හානි වූ නිෂ්පාදන හඳුනා ගැනීම වගේ දේවලුත් ස්වයංක්‍රියව සිදු වෙනවා. ඊට පස්සේ අපි සම්පූර්ණ යන්ත්‍රයක් විදිහට ස්වයංක්‍රිය දියර පුරවන යන්ත්‍රයක් හදනවා. ඒක රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට තමයි හැදුවේ.

Òවිශේෂයෙන්ම කියන්න ඕන අපි ළඟට දෙළුම් යුෂවලින් නිෂ්පාදනාගාරයක් කරගෙන යන කෙනෙක් ඇවිත් දෙළුම්වලින් ඇට වෙන් කර ගන්න යන්ත්‍රයක් හදල දෙන්න කිව්වා. එහෙම මැෂින් එකක් ගැන විස්තර ලෝකෙ අපට හොයාගන්න තැනක් තිබු‍ණෙත් නෑ. ඒත් අපි ගොඩක් මහන්සි වෙලා සාර්ථකව දෙළුම් ඇට ඉවත් කර ගන්නා මැෂින් එකක් හැදුවා. ඒ වගේම අපි විවිධ කර්මාන්තශාලාවල යන්ත්‍ර සූත්‍රවලට අවශ්‍ය කොටස් වෙනම සෑදීමත් කරනවා. උදාහරණයක් විදිහට මේ දවස්වල ‘හැඟර්ස්’ (ඇඳුම් රඳවන) නිෂ්පාදනය කරන ආයතනයකට යන්ත්‍රයක් හදනවා. එයාලට ඕන මේ හැඟර්ස් ටික එක පැත්තකට වෙන විදිහට ඇවිත් ඇසුරුම් කරන මැෂින් එකක්. ඒ වගේ කර්මාන්තශාලාවල යන්ත්‍රසූත්‍රවලට යම් යම් කොටස් එකතු කිරීම් වශයෙනුත් අපි යන්ත්‍ර කොටස් නිෂ්පාදනය කරනවා. අපි මේ දවස්වල ඉඳිආප්ප වට්ටි විශාල පරිමාණයෙන් හෝදන යන්ත්‍රයක් සහ නිවැරදි මිනුම්වලට අත්වැසුම් කපන යන්ත්‍රයක් හදනවා. මේ නිෂ්පාදනවලට රොබෝ තාක්ෂණයත් යොදා ගන්නවා. වර්තමානයේ රොබෝ තාක්ෂණය විවිධ රටවල වැඩි වශයෙන් භාවිත කරන නිසා අපිත් යන්ත්‍රසූත්‍රවලට එම තාක්ෂණය දැන් එක් කරනවා.”

දැන් තම ව්‍යාපාරයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පිටරටින් ලැබෙනතුරු බලා සිටීමට ද අවශ්‍ය නැත. යන්ත්‍ර සූත්‍ර ගෙන්වීමේදී නැව් සමාගම්වලට වැඩි මුදලක් වියදම් කිරීමට ද සිදුවනු ඇත. මෙවැනි තරුණයන් දිරිගැන්වීමෙන් පිටරටට ගලා යන මුදල් සම්භාරය ද ඉතුරු කර ගැනීමට හැකිය. තරුණ අවධියේදීම අරඹූ මේ ව්‍යාපාරය ලෙහෙසි පහසු එකක් නොවන බව හෝමාගම පිහිටි ඔවුන්ගේ කර්මාන්තශාලාවට යන ඕනෑම කෙනකුට දැක බලාගත හැකිය. අප රටේ තිබෙන මේ මානව සම්පත්වලින් තව තවත් වැඩියෙන් ප්‍රයෝජන ගැනීමට රජයේ ද අවධානය යොමු විය යුතුය.

ගයාන් සංජය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT