Home » ඉවුර සේදී ගොස් තුම්මෝදර පොල්වත්ත මාර්ගය අනතුරේ

ඉවුර සේදී ගොස් තුම්මෝදර පොල්වත්ත මාර්ගය අනතුරේ

by sachintha
November 18, 2024 1:54 am 0 comment

පාදුක්ක බෝපේ හරහා අවිස්සාවේල්ල මාර්ගයේ, තුම්මෝදර පොල්වත්ත ප්‍රදේශයේ පාලම අසල මාර්ගයේ එක් ඉවුරක් ඔයට සේදී යෑම නිසා, මේ වන විට එම ස්ථානය දැඩි අනාරක්ෂිත ස්ථානයක් බවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

කලටුවාව සහ ලබුගම ජලාශ අසලින් ආරම්භ වන මෙම ඔයේ ඉහළ කඳුකර ප්‍රදේශයට, මීට මාස 06කට පමණ ඉහතදී හිටිහැටියේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟම, ඔය පිටාර ගලා මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන්, පැවති අධික සැඩ පහරට මාර්ගයේ පහළ ඉවුර ඔයට සේදී ගොස් තිබුණි.

ඉන්පසු අදාළ අංශ විසින් එම ආනාරක්ෂිත ස්ථානය බැරල් කිහිපයක් තබා ආවරණය කර ඇතත්, එම බැරල්ද මේ වනවිට දිරාපත් වෙමින් පවතින බව ඔවුහු පවසති.

මෙම මාර්ගයේ පාදුක්ක සිට අවිස්සාවේල්ල දක්වා ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනය කෙරෙන අතර, මීට අමතරව ප්‍රදේශයේ ජනතාවද මෙම මාර්ගයේ රථවාහනවලින් දිවා රාත්‍රී දෙකෙහිම ගමන් කරනු ලබයි.

මාර්ගයේ ඉවුර මෙලෙස සේදී යෑම නිසා, මේ වන විට එම ස්ථානයේ ගැඹුරු වළක් සෑදී ඇති බවත්, මෙලෙස දීර්ඝ කාලයක් මාර්ගයේ අනාරක්ෂිත ස්ථානයෙන් රථවාහන ධාවනය කිරීම හේතුවෙන් එම ස්ථානයේ මාර්ගයද ඉරිතළා ගොස් තවත් අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇතැයි ඔවුහු පවසති.

එම නිසා මාර්ගයේ ඉවුර සේදී ගොස් ඇති ස්ථානයට කළුගල් කුට්ටි දමා හෝ එම ස්ථානය යථා තත්ත්වයට පත්කර දෙන මෙන් ප්‍රදේශවාසීහු වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිති.

පාදුක්ක සමූහ- රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT